බදියුදීන්ට එරෙහිව ගම්මන්පිලගෙන් චෝදනා 16ක් ඇතුළත් පැමිණිල්ලක්

බදියුදීන්ට එරෙහිව ගම්මන්පිලගෙන් චෝදනා 16ක් ඇතුළත් පැමිණිල්ලක්

June 12, 2019   05:30 pm

රටේ පවතින අපරාධ නීතිය අනුව යම් පුද්ගලයෙකුට එරෙහිව ඇති අපරාධ චෝදනා ඕනෑම දිනයක ගොනුකළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පැමිණිල්ලක් බාරදීම සඳහා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා 16ක් ඇතුළත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානය වෙත අද (12) බාරදෙනු ලැබුවේය.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා 16ක් සහ ඊට අදාළ සාක්ෂි ලේකන 80ක් සහිත පැමිණිල්ලක් තමන් විසින් ඉදිරිපත් කරන බවයි.

එම චෝදනා 16 අතරේ බදියුදීන් ඇමතිවරයා විසින් මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000ක් අත්පත් කරගත් ආකාරය සියලුම ඔප්පුවල පිටපත් සහිතව භාරදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඇති විශ්වාසභංගයේ සඳහන් චෝදනාවලට අදාළ සාක්ෂිද පොලීසියට බාරදෙන බව ගම්මන්පිල මහතා පැවසීය.

එහිදී සිය අදහස් පල කරමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

"හැබැයි මේ නඩු ඇසීමේ ක්‍රමය පිළිබඳ අපේ කිසිම ප්‍රසාදයක් නෑ. පැමිණිලි ලබා දීමට කාලය සතියයයි. මාසයක් ඇතුළත නඩු අසා ඉවර කළ යුතු බව තීරණය කරන්නෙත් සැකකරුවන්.

අපේ රටේ අපරාධ නීතිය හැටියට පුද්ගලයෙකුට එරෙහි අපරාධ චෝදනා ඕනෑම කාලයක ගොනු කළ හැකියි. ඒ සඳහා කාල සීමාවක් නෑ.

ඒ අනුව අපට පෙනී යනවා මේ කමිටුවත් බදියුදීන්ලාගේ, අසාත් සාලිලාගේ වැරදි සෝදා පවිත්‍ර කර ඔවුන් නිවැරදි කිරීමට යොදාගන්නා කුණු ලොන්ඩරියක් බවට පත්වේවි කියලා."

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිදු කළ අපරාධයට ඔහුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි යන පීඩනය එල්ල කිරීමට ජනතාව හා තමන් එක්ව ක්‍රියාකරන බවයි.