රාජ්‍ය යාන්ත‍්‍රනය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කරන්න ඉඩ දෙන්න බැහැ-පාඨලී

රාජ්‍ය යාන්ත‍්‍රනය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කරන්න ඉඩ දෙන්න බැහැ-පාඨලී

June 12, 2019   04:00 pm

රාජ්‍ය යාන්ත‍්‍රනය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරීමකට ඉඩ දීමට නොහැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ බලයෙන් පත් වූ කැබිනට් මණ්ඩලය නොසලකා හැරීම, ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලක් ගෙන යාම සහ පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කිරීමක් සිදු වන බවද අමාත්‍යවරයා පවසි.

ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (12) දින ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් මෙරට තුළ ආණ්ඩුක‍්‍රම අර්බුදයක්, රාජ්‍යයේ ආර්බුදයක්, දේශපාලන අර්බුදයක් නිර්මාණය කර තිබෙන බවයි.

ලබන අඟහරුවාදාට ප‍්‍රථම කැබිනට් මණ්ඩලය රැස්කර රට සාමන්‍ය අතට පත් කරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසයි.

මෙම අවස්ථාවට පස්සරමුල්ලේ දයාවංශ හිමි, ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ නීතීඥ ටියුඩර් පෙරේරා මහතා ද සහභාගී විය. 

එහිදී අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක අමාත්‍යවරයා,

"ජනාධිපතිතුමා නැවත වතාවක් පාර්ලිමේන්තුවත් ආණ්ඩුවත් සමග ව්‍යවස්ථාමය ගැටුමකට,නීතිමය ගැටුමකට හා දේශපාලනමය ගැටුමකට යොමු වී තිබෙනවා. ඒකට හේතු හැටියට එතුමා දක්වා තිබෙන්නේ පවත්වාගෙන යන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් ජාතික ආරක්‍ෂාව යම් යම් හානිකර දේවල් හෙළි දරව් කරනවා. 

එනිසා ඒ තේරීම් කාරක සභා ක්‍රියාවලිය නතර කළ යුතුයි කියන පදනමේ හිඳගෙන කැබිනට් මණ්ඩලය කැඳවීම නතර කර තිබෙනවා. පළමුවෙන්ම සඳහන් කළ යුතුයි ජනාධිපතිතුමා මෙම ක‍්‍රියාදාමය මගින් චේතාන්විතව රාජ්‍ය විධායකය, ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමේ වගකීම් විරහිත ක්‍රියාවලියක නිතර වී සිටිනවා.

අපේ ව්‍යවස්ථාව ඉතාම පැහැදිලිව විධායකය සතු බලතල මොනවාද, ජනාධිපතිතුමා සතු බලතල මොනවාද ඒ වගේම පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද කියන එක වෙන් වෙන්ව පැහැදිලිව නිෂ්චිතව දක්වලා තිබෙන ව්‍යවස්ථාවක්. 

මේ ව්‍යවස්ථාවේ වගන්ති පිළිබඳව යම් යම් සැක මුසු තැන් තිබුණා නම් පසුගිය දින 51 දී මේ රටේ ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය පැවතුණු කාලයේ මෙරට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දු මගින් ඉතාම පැහැදිලිව විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය මගින් සිදු කරන ලද වෙනස්කම් වලට පැහැදිලිව ජනාධිපතිතුමාගේ බලතල මොනවාද? ඒවා නතර වෙන්නේ කොතැනද? ඔහුට අභිමතයෙන් සිදු කළ හැකි දේවල් මොනවද? 

ඒවා නතර වෙන්නේ කොතැනද, පාර්ලිමේන්තුව සතු බලතල මොනවාද? නතර වෙන්නේ කොතැන ද කියන එක පිළිබඳව නිෂ්චිත විවරණයක් ලබා දුන්නා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හිතුමතේ විසුරුවාලීම, ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති පුද්ගලයෙක් අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීම කියන මේ සියළු කාරණාවලට අධිකරණය විසින් විවරණයක් ලබාදුන්නා.

අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප‍්‍රධානියා, ආණ්ඩුවේ - කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා, ඒ වගේම විධායකයේ ප‍්‍රධානියා. එනමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමෙන් බැඳී සිටිනවා. ඒ නිසා මේ රාජ්‍ය යන්ත‍්‍රණය විධායකය අඛණ්ඩව පවත්වාගෙන යෑම කවර තත්වයන් යටතේ උවත් ජනාධිපතිවරයාගේ පැහැදිලි, නිෂ්චිත වගකීමක්. 


ඊයේ දින කැබිනට් මණ්ඩලයට ලැයිස්තු ගත කැබිනට් පති‍්‍රකා 51 ක් සහ අලූත් කැබිනට් පති‍්‍රකා 19 ක් සමග ඔක්කෝම 70 ක් එතන තිබෙනවා. ඒ වගේම ආයතන කමිටුව මගින්, විවිධ කැබිනට් අමාත්‍යවරු විසින් පුද්ගලයින් ආයතනවලට පත් කිරීම පිළිබඳව තිබෙන යෝජනා පිළිබඳ කැබිනට් පත‍්‍රික 34 ක් තිබෙනවා. ඔක්කොම 104 ක් වෙනවා. එතකොට රාජ්‍යයේ මේ කැබිනට් පති‍්‍රකා සාකච්ඡා කර අනුමත කර ගන්නේ නැතිව රාජ්‍ය අකර්මණ්‍ය කිරීම, හිතාමතාම, චේතනාන්විතව එතුමා බලය අයුතු ලෙස පාවිචිච් කිරීමක්.

ඒ වගේම අනෙක් පැත්තෙන් එතුමාට දේශපාලන වරම 2015 දී ලබාදුන් ජනතාව බලාපොරොත්තු උනේ  එවකට තිබූ පාලනයටත් වඩා ඉතා හොඳ ප‍්‍රජාතාන්ත‍්‍රික යහ පැවැත්මකින් යුතු ක්‍රියාදාමයක්. ඒ ජනතාවට නැවත වතාවක් එල්ල කළ අතුල් පහරක්. ඒ වගේම එතුමාගේම පක්ෂයේ පිරිස් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙනාට පාර්ලිමේන්තුවේ බලයෙන් පත් වූ කැබිනට් මණ්ඩලය නොසලකා හැරීම විසින් එල්ල කරන ලද විශාල අවමානයක්.  අපි හිතන විදිහට මෙය පැහැදිලි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලක්. මෙය පැහැදිලිව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අභියෝගයට ලක් කිරීමක්.  

තේරීම් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ නායකයින් විසින් පාර්ලිමේන්තුව තුළ යෝජනා සම්මතයකින් ඇති කළ දෙයක්. ජනාධිපතිගේ අභිමතයන්ට අනුකුලව එය වෙනස් කරන්න බැහැ. එහි ජාතික ආරක්‍ෂාව පිළිබඳව යම් යම් ගැටළු තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න වෙනවා. ඒක නිසා අපි පළමුවෙන්ම මේ අර්බුධය ඉදිරියට ගෙනයාම මගින් භයානක ප‍්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්. 

ඔක්තොම්බර් 26 ජනාධිපතිවරයා විසින් සිදු කළ එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩපිළිවෙල නිසා රටේ ආර්ථිකයට, රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපයට ඒ වගේම රටේ සමාජ දේහයට මිල කළ නොහැකි හානියක් සිදු කළා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වෙච්ච ආණ්ඩුවත් සමග ආරක්ෂක මණ්ඩලය කටයුතු කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අපේ‍්‍රල් 21  සිදු වූ පාස්කු ඉරිදා සිදු වෙච්ච ඉස්ලාමීය  ත‍්‍රස්තවාදී අන්තර්ජාතික අයිසිස් ප‍්‍රහාර විසින් රටේ ජාතික ආරක්‍ෂාවට, ඒවගේම  රටේ ආර්ථිකයට රටේ සමාජයට මිල කළ නොහැකි අපරාධයක් සිදු වුණා. දැන් මේ අනුගමනය කරන කි‍්‍රයාදායම විසින් එවැනිම ව්‍යසනකාරීත්වයක් ආරාධනාකරලා කැඳවා ගැනීමක් තමයි මේ සිදු කර තිබෙන්නේ.

මේ රටේ ත‍්‍රස්තවාදයන් තිබුණා. පාර්ලිමේන්තුවට ගිය මන්ත‍්‍රීවරුන්ට අතර මගදී ප‍්‍රහාර එල්ල කළා. පාර්ලිමේන්තුව ඇතුලේදී රටේ රාජ්‍ය නායකයාට බෝම්බ ප‍්‍රහාර එල්ල උනා. ඒ වගේම කැබිනට් මණ්ඩලය රැස් කරන්න නොදෙන තත්වයේ කැරළි කෝලාහල  ඇතිවුණා. මේ කිිසිම අවස්ථාවක මේ රටේ කැබිනට් මණ්ඩලය නතර උනේ නැහැ. පාර්ලිමේන්තුවේ සැසිවාර නතර උනේ නැහැ. ජනාධිපතිවරයාගේ කි‍්‍රයාදාමයන්  විධායක බලය පාවිච්චි කිරීම නතර උනේ නැහැ. නමුත් මේ කිසිවක් නොමැති තත්වයන් තුළ තමන්ගේ අභිමතය පරිදි  ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීම විසින් ජනාධිපතිවරයා විසින් නැවත වතාවක් මෙරටතුළ ආණ්ඩුක‍්‍රම අර්බුදයක්, රාජ්‍යයේ ආර්බුදයක්, දේශපාලන අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා.

ඒක නිසා අපි පළමුවෙන්ම ජනාධිපතිතුමාට, අගමැතිතුමාටත් මෙහි වගකීමක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් බහුතර මතයෙන් පත් කරන ලද අග‍්‍රාමාත්‍යවරයා හැටියට, ඒ වගේම කතානායකතුමාටත් වගකීමක් තිබෙනවා මේ තේරීම් කාරක සභාව ඇතුළු එම පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන ප‍්‍රධානියා හැටියට. එම තේරීම් කාරක සභාවටත් වගකීමක් තිබෙනවා එම තේරීම් කාරක සභාවේ සීමාවන් මොනවාද කියන එක පිළිබඳව. මේ සියලූ දෙනා වහාම මේ සතිය ඇතුළත මේ පිළිබඳව සාකච්ඡා කරලා සම්මුතියකට එළඹිලා ලබන අඟහරුවාදාට ප‍්‍රථම කැබිනට් මණ්ඩලය රැස්කර රට සාමාන්‍ය අතට පත් කරන්නැයි අප ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ පක්ෂ බේදයෙන් තොරව සියළුම මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිවරයාගේ මේ අත්තනෝමතික වැඩපිළිවෙල නිසා පාර්ලිමේන්තුවේ කටයුතු හෑල්ලූවට ලක් කරලා පාර්ලිමේන්තුවේ බලතල යටපත් කරන්න දරණ උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුව නැගී සිටිය යුතුයි.

ඒවගේම විශේෂයෙන්ම 2015 ඡුන්දය දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග හා පොදුවේ මේ රටේ මහජනතාවගේ, පරමාධිපත්‍යය ඔවුන් සතුයි. අපි ඉල්ලා සිටිනවා මේ කි‍්‍රයාදාමය හමුවේ නිහඬව, නිසලව නොසිට ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිය වෙනුවෙන් නැගී සිටින්න කි‍්‍රයා කරන්න කියා. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කියනවා අපි මේ තනතුරු සම්බන්ධයෙන් හෝ අපට පහර දෙයි කියලා හෝ, අපට මඩ ප‍්‍රහාර එල්ල කරයි කියලා හෝ බයේ අපි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පිළිබඳව කතා නොකර ඉන්නේ නැහැ. පෙනී නොසිටින්නේ නැහැ. නායකත්වය නොදී ඉන්නේ නැහැ. ඒ බව සියළුම දෙනා මතක තබා ගත යුතුයි. 

ජනාධිපතිතුමාට බොහොම පැහැදිලිව කියනවා ඔක්තොම්බර් 26 ක් කැඳවාගන්න එපා. ඔබතුමා මේ ප‍්‍රශ්නය සාමකාමීව ඉක්මනින් විසඳාගෙන මේ රට සාමාන්‍ය තත්වයට ගේන්න. රාජ්‍ය යන්ත‍්‍රය රාජ්‍ය නායකයා විසින්ම අකර්මණ්‍ය කිරීමකට ඉඩ දෙන්න බැහැ. මේ රට රාජාණ්ඩුවක් හෝ දේවවරම්වාදයකින් පාලනය වෙන්නක් නෙමෙයි. අභිමතය කි‍්‍රයාත්මක කරන්න. මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජනතා වරමින් පාලනය වන්නක්. ඒ ජනතා වරමින් පාලනය කිරීම කොහොම කරන්නේ කියන එක පිළිබඳව ලියවිල්ලක් තිබෙනවා. එය තමයි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුළව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා යැයි  පැවසීය."