හලාවතට හැමු හදිසි සුළඟින් නිවාස හා වෙළඳසැල් රැසකට හානි
June 12, 2019 03:53 pm
හදිසියේ සුළඟකින් හලාවත-ඉරණවිල සහ වෙරළබඩ යන ප්රදේශවල නිවාස ඇතුළු ගොඩනැඟිලි කීපයකට අලාභ සිදුවී ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
12 වැනිදා අළුයම 1.15 ට පමණ ඇති වූ මෙම සුළඟ විනාඩි 03 ක පමණ කාලයක් පැවති බව ප්රදේශවාසීන් සඳහන් කරයි.
හමා ගිය සුළඟ හේතුවෙන් හලාවත - ඉරණවිල ප්රදේශයේ මුහුදු වෙරළේ සාදා තිබූ ස්ථීර ධීවර වාඩියක් සහ තාවකාලික ධීවර වාඩි දෙකකට පුර්ණ හානි සිදුවී ඇත.
ඉරණවිල ප්රදේශයේම සංචාරක හෝටලයකට,ප්රජා ශාලාවකට,පෙර පාසලකට,වෙළද සැළකට සහ නිවාස 11 කට අර්ධ හානි සිදුවී තිබේ.
ධීවර වාඩි සියල්ල කඩා වැටී ඇති අතර,එක් ධීවර වාඩියක සුන් බුන්වලට යටවීමෙන් ධීවර යාත්රාවකටද හානි සිදුවී ඇත.
සංචාරක හෝටලේ,ප්රජා ශාලාවේ සහ නිවාසවල වහලවලට සෙවිලි කර තිබූ උළු සහ ඇස්බැස්ටෝස් තහඩු මීටර් කීපයක් සුළඟට ගසා ගෙන ගොස් තිබේ.
මේ අතර,හලාවත වෙරළබඩ ග්රාම නිලධාරී වසමේ නිවාස 06 කට සහ එක් වෙළද සැළකට සුළඟ හේතුවෙන් හානි සිදුවී ඇති බවද ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
සිදුවී ඇති අලාභය ඒ ඒ ප්රදේශවල ග්රාම නිලධාරීන් මඟින් තක්සේරු කිරීම මහවැව සහ හලාවත ප්රාදේශීය ලේකම් කාර්යාල විසින් ආරම්භ කර ඇත.
සුළඟ හේතුවෙන් ජීවිත හානි හෝ කිසිවෙකුට තුවාල සිදුවූ බවක් වාර්තා වී නැත.
හලාවත ප්රදේශය හරහා හමා ගොස් ඇත්තේ ටොනේඩෝ සුළගක් බවට විශ්වාස කරන්නේ යැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.