ගබ්සා පෙති ජාවාරම්කරු නීතියේ රැහැනට හසුකරගත් හැටී

ගබ්සා පෙති ජාවාරම්කරු නීතියේ රැහැනට හසුකරගත් හැටී

May 29, 2019   07:32 pm

නීති විරෝධී ගබ්සා පෙති අලෙවි කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා ඊයේ (28) රට හමුවේ තොරතුරු අනාවරණ කළේය.

උකුස්සාගේ අද (29) අනාවරණය අදාල ජාවාරම්කරු නීතියේ රැහැනට හසුකරගත් අකාරය පිළිබඳවයි.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ගබ්සා පෙති අළෙවි කරන ජාවාරම්කරුවෙකු පිළිබඳ අප ඊයේ තොරතුරු අනාවරණ කළේය.

ජාවරම්කරුගෙන්ම ගත් තොරතුරු පසුපස යන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කරයි.

ඒ අනුව අදාළ ඒකකයේ නිලධාරීන් හැටන් ප්‍රදේශයට පිටත්ව යන්නේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් වලට අනුවයි.

වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා ඊට සෘජු අධීක්ෂණය ලබා දෙන්නේය.

හැටන් කොටගල ප්‍රදේශයට ළඟා වූ උකුස්සා ගබ්සා පෙති ජාවාරම්කරුගේ ඉල්ලීමට අනුව කොටගල තැපැල් කාර්යාලය ආසන්නයට ලගා වෙයි.

එහි පැමිණි ජාවාරම්කරු තමන් වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බවට ඒත්තු ගැන්වීම සඳහා ආසත්‍ය ප්‍රකාශ කිරීමට උත්සහ කරන්නේය.

නිමේශයකින් ක්‍රියාත්මක වූ පොලිසිය ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නේ ඔහු කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයටයි.

වසර ගණනාවක් තිස්සේ කොටගල ප්‍රදේශයේ සිදුකළ වෛද්‍යවරයෙකු බව පවසමින් නීතිවිරෝධී ප්‍රතිකාරවල නිරත වූ මොහු වෛද්‍යවරයෙකු නොවන බව පළමු ප්‍රශ්න කිරීම්වලදී ම පිළිගත්තේය.

සැකකරු සමඟ ඔහුගේ කොටගල නිවසට යන පොලිසිය සම්පූර්ණයෙන් නිවස පරීක්ෂා කළේය.
 
එහිදී ගබ්සා පෙති සොයාගන්නේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ උදාන වැකියක් සහිත ඡායාරූපයක් පිටුපස තිබූ රහසිගත කුහරයකින්.

මෙහිදී රුපියල් ලක්ෂ 04 ක් පමණ වටිනා ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට මාතලේ ආහාර සහ ඖෂධ නියාමන නිලධාරියා පියවර ගත්තේය.

එහිදී අනාවරණ වූයේ රුපියල් 800ක් පමණ වන මෙම පෙත්තක් රුපියල් 10000කට පමණ අලෙවි කර ඇති බවයි.

ඉදිරියේදීත් මෙවැනි කූඨ ජාවාරම් පිළිබද රට හමුවේ අනාවරණ කිරීමට  අද දෙරණ උකුස්සා සීරුවෙන්.