නීති විරෝධී දුම්වැටි 28,600ක් රේගු අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි 28,600ක් රේගු අත්අඩංගුවට

May 26, 2019   08:06 pm

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(26) අළුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සහ 48 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෝ දෙදෙනේකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඔවුන් අද අළුයම 5.30 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 5127 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ  ගමන් මලුවල රුපියල් 17,16,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 28,600ක් අඩංගු දුම්වැටි කාටූන් 143 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් සිදු කරයි.