අද දිස්ත්‍රික්ක 6ක් පුරා සෝදිසි මෙහෙයුම්

අද දිස්ත්‍රික්ක 6ක් පුරා සෝදිසි මෙහෙයුම්

May 26, 2019   07:03 pm

දිවයිනේ දිස්ත්‍රික්ක 06 කට අයත් ප්‍රදේශ රැසක අද දිනයේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඒ පොලීසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි.

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ පූර්ණ අධික්ෂණය යටතේ අදත් කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක සෝදිසි කිරීම් සිදුවිය.

ඒ අනුව බොරැල්ල වනාතමුල්ල , සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙස්, යුධ හමුදා කණ්ඩායම් කිහිපයක් විසින් පරික්ෂාවට ලක් කරනු ලැබුවේය.

මේ අතර යුධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව නාරාහේන්පිට ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි නිවසක තිබි යුධ හමුදා හිස්වැසුම් 4ක්, නිවෙස් වල භාවිතයට අවසර නොමැති පිහි 10ක්, සන්නිවේදන හා තාක්ෂණික උපකරණ රැසක්ද සොයා ගැනිමට හැකි වුණි.

මීට අමතරව මෙම මෙහෙයුම අතරතුරදී තිබි පුපුරන ද්‍රව්‍ය කිලෝ 15ක් , රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ගැළුම් 11ක්,දුර දක්නයක් සහ කඩු 2ක් ද සොයා ගැනුණි.

මිනුවන්ගොඩ , කෝපිවත්ත අක්කර 40 සහ ජාපාලවත්ත යන ප්‍රදේශවලත් අද සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණි.

මේ අතර මීගමුව,පෝරුතොට ප්‍රදේශයේ නිවෙස් අද උදෑසන පරීක්ෂාවට ලක්කෙරුණු අවස්ථාවේදී තක්යා පාර ආසන්නයේ උස් තාප්පවලින් වට කරන ලද ගොඩනැගිල්ලක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කරනු ලැබුවේය.

එහිදි ගොඩනැගිල්ල තුළ පංතිකාමර හෝ දේශනා පවත්වා තිබූ ආකාරයද දැකගන්නට ලැබුණි.

ඒ වනවිට අදාල ගොඩනැගිල්ලේ කාන්තාවන් සිව්දෙනෙක් සතුව වයස අවුරුදු 10ත් - 18ත් අතර වයසේ පසුවන දරුවන් 28දෙනෙක් සිටි අතර එම ගොඩනැගිල්ලේ හිමිකරු එහිසිටි දරුව්නගේ පියකු බව අනාවරණ වී ඇත.

මේ අතර පුත්තලම යුධ හමුදා කදවුරේ අණ දෙන නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ අද උදෑසන නාත්තන්ඩිය, මානිංගල ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම මෙහෙයුම අතරතුරදී යතුරු පැදි 04, ත්‍රී රෝද රථයක්, කඩු 02ක් , සංයුක්ත තැටි 28 ක්, සැකකටයුතු පොත් 48 ක් සහ සගරා 07 ක්ද ආරක්ෂක අංශ නිලධාරින් සිය බාරයට ගනු ලැබුවේය.

කුරුණෑගල ,මාවතගම ප්‍රදේශයේ නිවාසද අද පරික්ෂාවට ලක් කිරිමේදී නිවාස කිහිපයක තිබි දුරදක්නයක් , පතරොම් කිහිපයක් සහ විදේශ ගමන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

කලුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට ඇප මත සිටින පුද්ගලයෙකුගේ නිවසක් පරික්ෂා කෙරුණු අතර එහිදී එම නිවසේ ඉදිකරමින් පැවැති භූගත බංකරයක් සොයා ගැනුණි.

මීට අමතරව වැලිපැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරිමේදී ව්‍යාජ ලෙස සකස් කළ රථවාහන අංක පුවරු 2ක් සහ කිනිසි 2ක් සොයාගෙන ඇත.