කුරුණෑගල වෛද්‍යවරයා වඳ සැත්කම් කළ බවට පැමිණිලි ඇත්නම් CIDයට දැනුම් දෙන්න

කුරුණෑගල වෛද්‍යවරයා වඳ සැත්කම් කළ බවට පැමිණිලි ඇත්නම් CIDයට දැනුම් දෙන්න

May 26, 2019   05:22 pm

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා මේවන විට ප්‍රශ්නකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටියි.

ඔහු සිදුකළ සිසේරියන් සැත්කම්වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීම ඊයේ(25) රාත්‍රියේ සිදුකෙරුණි.

කෙසේ වෙතත් පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එවන් පසුබිමක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා අනාවරණ කර සිටියේ එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

රෝහලේදී බිළිඳෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට ක්‍රියාකර ඇතැයි මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහු යටතේ සිදු කළ සැත්කමකින් පසු මූත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳින බවට කුරුණෑගල රෝහලේම හෙද නිලධාරිනියක් පැමිණිලි කර තිබේ.