සිසේරියන් සැත්කම් කළ බවට සැක NTJ වෛද්‍යවරයා ගැන හොයන්න GMOA සහය

සිසේරියන් සැත්කම් කළ බවට සැක NTJ වෛද්‍යවරයා ගැන හොයන්න GMOA සහය

May 23, 2019   12:47 pm

තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රභල සාමාජිකයෙක් බවට සැක වෛද්‍යවරයෙකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන පුවතක් සම්බන්ධව අද ජාතික පුවත් පතක් විසින් වාර්තා කර තිබුණි.

අදාළ සිද්ධිය පිළිබඳ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද(23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා දැනුවත් කර සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පෙන්වා දුන්නේ මෙම සිදුවීම තත්ත්වය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා බරපතළ බවයි.

මේ අතර අනෙක් ජාතිකත්වයන් නියෝජනය කරන පුද්ගලයින් මෙම පුවත හේතුවෙන් මුස්ලිම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා විය හැකි බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම පුවත ජනතාව අතර ගැටුමක් සහ සැකයක් ඇති කළ හැකි තත්ත්වයක් බවත් මුස්ලිම් වෛද්‍යවරුන් රෝහල්වලින් පලවාහරින තත්ත්වයක්ද උද්ගතවිය හැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ හේතුවෙන් රජය විසින් මෙම පුවත සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් කරන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහිදී කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ මෙම පුවත අද උදෑසන දුටු විගස වැඩබලන පොලිස්පති වරයාට සහ බුද්ධි අංශ ප්‍රධානීගෙන් විමසා සිටි බවයි.

කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ ආරක්ෂක ප්‍රධානීන් විසින් කියා සිටියේ එම පුවත අසත්‍ය බවයි.

මේ අතර තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් මව්වරුන් හාරදහසක පමණ පිරිසක් වඳ සැත්කම්වලට ලක් කර ඇති බවට අද දිනයේ ජාතික පුවත්පතක ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර බව එම වාර්තාවේ සඳහන් වුණි.