ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

May 19, 2019   07:02 pm

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනිධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රිඩාගනයේදි පැවැත් වුණි.

යුද්ධයේදි දිවි පිදු අබාධිත තත්වයට පත් වු සහ ඒ වෙනුවෙන් කැප වු අභීත රණවිරුවන් සිහිපත් කිරිම උදෙසා 10 වන ජාතික  සැමරුම් උත්සවය පවත්වනු ලැබුවේය.

මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතිළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඇතුළු ආගමික නායකයින්ද එක්ව සිටියේය.

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිවරයා පවසයි. 

අද දවසේ රටට මුහුණදීමට සිදුව තිබෙන ත‍්‍රස්ත අභියෝගය ද ශ‍්‍රී ලංකාවෙන් මුළුමනින්ම අතුගා දමා රට තුළ ස්ථීරසාර සාමයක් ස්ථාපිත කිරීමට අපගේ වීරෝධාර රණවිරුවන්ට හැකියාව තිබෙන බව සේනාධිනායකයා ලෙස තමා දැඩිව විශ්වාස කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (19) පස්වරුවේ පැවති  ,රණවිරු උත්තම ප‍්‍රණාම දස වර්ෂ පූර්ණ සැමරුම්, උත්සවය අමතමිනි.

මාතෘභූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිපිඳු, අතුරුදන් සහ ආබාධිත වූ රණවිරුවන් අනුස්මරණය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියස දී සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් පැවැත්විණි. 

උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ වසර 30ක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට එරෙහි යුද ජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන අවස්ථාවේ ඊට හාත්පසින්ම වෙනස් ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සිදුවීමකට නොසිතු අයුරින් අපට මුහුණදීමට සිදුව තිබෙන බවයි. 

ඒ හමුවේ මෙරට ති‍්‍රවිධ හමුදාව, බුද්ධි අංශ සහ සියලූ ආරක්ෂක අංශවල විශේෂඥයන්  ඇතුළු සියලූදෙනාට නව වගකීමක් පැවරී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා වසර 30 ක යුද අත්දැකීම් සමඟ එම අභියෝගය ද නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට එම සියලූදෙනාට හැකියාව තිබෙන බව කියා සිටියේය.

වසර 30ක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී ජීවිත පරිත්‍යාග කළ සහ ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවය සහ ප‍්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් වෙත ද සිය උපහාරය පිරිනැමීය.

එමෙන්ම සේවාවන්හි නිරත සියලූ රණවිරුවන් අද දවසේ මාතෘභූමිය වෙනුවෙන් ඉටුකරන විශිෂ්ට මෙහෙවර ද ජනාධිපතිවරයා ඇගැයීමට ලක් කළේය.

මේ අතර අපේ‍්‍රල් 21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලූදෙනා සහ, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් සිය සංවේගය පිරිනැමීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය.