අනතුරට පත් විදේශීය රුවල් යාත්‍රාවක් මුදා ගන්න නාවික සහය

May 16, 2019   03:18 pm

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ගාල්ල, රූමස්සල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

රූමස්සල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ‘මැන්ගෝ වන්’ (Mango One) නැමැති විදේශිය රුවල් යාත්‍රාවක් එන්ජිමක ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ(15) විපතට පත්ව ඇති බවට නාවික හමුදාවට තොරතුරක් ලැබී ඇත.

එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ඒ අනුව නාවික හමුදා යාත්‍රා මඟින් එම රුවල් යාත්‍රාවට අයත් නාවිකයින් සහ යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මෙම යාත්‍රාව ශ්‍රි ලංකා මුහුදු සිමාව හරහා තායිලන්තය බලා සංචාරය කරමින් සිට ඇත. 

එම යාත්‍රාවේ සිටි නාවිකයින් ජර්මනිය සහ තායිලන්තය යන රටවල පදිංචිකරුවන් වන අතර, රැගෙන එනු ලැබූ යාත්‍රාව අළුත්වැඩියා කටයුතු සඳහා පෞද්ගලික නෞකා නියෝජිත ආයතනයකට භාර දීමට කටයුතු කර තිබේ.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම උපද්‍රවයකදී සෙවිමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordinating Centre) මඟින් සිදු කරනු ලබන දැනුම්දීම්වලට අනුව නාවික හමුදාව දේශිය සහ විදේශිය නාවික හා ධීවර ප්‍රජාව ආපදා තත්වයන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.