තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරු නිදහස් කර ගන්න පොලීසියට අල්ලස් දීලා

තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරු නිදහස් කර ගන්න පොලීසියට අල්ලස් දීලා

May 8, 2019   09:31 am

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයෙක් උත්සහ දරා තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 වන දින සිදුකල ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකර හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අප්‍රේල් මස 28 වන දින, අන්තවාදී ත්‍රස්තවාදීන්ට සහාය ලබා දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දින 3ක් රඳවා තබා ගෙන විමර්ශන සිදුකර පසුව මැයි 1 වන දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මැයි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඇප දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා සැකකරුගේ ඥාතියෙක් වන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු මොහොමඩ් ෂිෆාන් නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට උත්සහ කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් අද(08) උදෑසන පොලිස් ස්ථානයේ දී ලබා දීමට යෑමේ දී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා සැකකරුට ඇප ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ මුදල ලබා දෙන බවට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා කල්තියා අදාළ අංශ දැනුවත් කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.