සයුරෙන් එතෙර
කොරියානු සාමයේ අනාගතය
April 26, 2019 03:17 pm
කොරියානු අර්ධද්වීපයේ සාමය පිළිබඳ අනාගතය සම්බන්ධ සම්පූර්ණ වගකීම අමෙරිකාව මත පැවරී ඇතැයි උතුරු කොරියානු නායකයා පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ සිය රුසියානු සංචාරය අතරතුරදීය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මේ වසරේ පෙබරවාරි මාසයේදී පැවැති සාකච්ඡා අතරතුර අමෙරිකාව පළකල ආකල්ප ඉතාමත් අසුබවාදී බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසා ඇත.
මේ දිනවල රුසියාවේ සංචාරයක නියුතු උතුරු කොරියානු නායකයා පවසන්නේ සමස්ත කොරියානු අර්ධද්වීපයේම අනාගත සාමය සම්බන්ධ වගකීම අමෙරිකාව බාරගත යුතු බවය.
ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ පැවැති සාකච්ඡා අතරතුරදී බවත් උතරු කොරියානු මාධ්‍ය පවසා සිටියි.
මේ අතර රුසියානු නායකයාට සිය දේශයේ සංචාරයක නිරතවන ලෙසත් උතුරු කොරියානු නායකයා ආරාධනා කර සිටියේය.
ජනාධිපති පුටින් මේ ආරාධනාව පිළිගත් අතර දෙපාර්ශ්වයටම පහසු දිනයක මේ සාකච්ඡා යොදාගන්නා බවත් මෙහිදී එකඟතාවකට පැමිණ ඇත.
සිය රුසියානු සංචාරය අතරතුර පැසිෆික් වෙරළ නගරයක් වන ව්ලාද්වොස්ටොක්හි පිහිටි රුසියානු නාවික හමුදා ස්මාරකයකට පුෂ්පෝපහාර දැක්වීමටත් කොරියානු නායකයා එක්වුණි.
එස් 56 සබ්මැරීන අනුස්මරණ ස්මාරකය සමීපයේ පැවැති මේ උත්සව අවස්ථාවට රුසියානු නිලධාරීන් රැසක්ද එක්ව සිටි බව රුසියානු වාර්තාවල සඳහන්ය.