පරිසර ක්‍රියාකාරීන් ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක
සයුරෙන් එතෙර

පරිසර ක්‍රියාකාරීන් ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක

April 26, 2019   12:08 pm

පරිසර ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ලන්ඩන් නුවරදී ඇරඹූ විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකව ඇත.

කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුකරවාගැනීම සඳහා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සමීපයේ ප්‍රබල විරෝධතාවක නිරතවෙමින් සිටියි.

එහි තවත් එක් දිනක් සනිටුහන් කරමින් ලන්ඩන්හි ප්‍රකට කැනරි වෝර්ෆ් උමං දුම්රිය ස්ථානය සහ ලන්ඩන් නුවර කොටස් වෙළෙදපොළ අසළ විරෝධතා පැවැත්වුණි.

කැනරි වෝර්ෆ් දුම්රියපලේ ඩොක්ලන්ඩ් සැහැල්ලු දුම්රිය මාර්ගයේ නවත්වා තිබූ දුම්රිය මත නැගුණු ඇතැම් පිරිස් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය ප්‍රකාශයට පත් කළේය.

දැනට සිදුකරගෙන යන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපාර අතරතුර විනාශයට පත්වන්නේ අනාගත පරම්පරාවේ ජීවිත අපේක්ෂාව බව විරෝධතාකරුවන් අවධාරණය කළේය.

ඉන් අනතුරුව පිරිස් ලන්ඩන්හි සුප්‍රකට ටවර් පාලම වෙත ගොස් එහි නැවතී විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඒ අසල දැඩි වාහන තදබදයක්ද ඇති වූ බව විදෙස් වාර්තාවල සඳහන්ය.

ගතවූ සති කිහිපයේදී ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගෙන පැවැත්වුණු විරෝධතා හේතුවෙන් මහත් කලබලයක් හටගත් අතර ඉන් ලන්ඩන් නුවර ජන ජීවිතයටද දැඩි බාධා එල්ල වී තිබුණි.

ලන්ඩන්හි පිහිටි මාර්බල් ආරුක්කුව, ඔක්ස්ෆ්ර්ඩ් සර්කස් දුම්රියපොළ සහ වෝර්ටලූ පාලම වැනි සුප්‍රකට ස්ථාන මූලික කර පැවැති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් දැක්වූයේ කලහකාරී හැසිරීමකි.

ෂෙල් ගොඩනැගිල්ලේ වීදුරු බිඳිමින් සහ පාර්ලිමේන්තුව වෙත අඩ නිරුවතින් ඇතුලුවෙමින් ඔවුන් ඇති කල කලබැගෑනිය අතිමහත්ය.

පිරිස් විසුරුවාහැරීමට පොලීසිය මැදහත් වීමේදී ගැටුම්ද හටගත් අතර අප්‍රෙල් 15වැනිදා ආරම්භ වූ විරෝධතාවලදී අත්අඩංගුවට පත්වූ පිරිස 1088කි.

නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශිත වූ ගියෙටා තුන්බර්ග් පවා මේ විරෝධතා සඳහා එක්වූ අතර කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමේ වැදගත්කම එහදී ඇයද අවධාරණය කර සිටියාය.