මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදී ලෙස නොබලන්නැයි ජනපති ඉල්ලයි

මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදී ලෙස නොබලන්නැයි ජනපති ඉල්ලයි

April 26, 2019   10:01 am

පොලිස්පති හා ආරක්ෂ ලේකම්වරයා සිය වගකීම් ඉටු කර නෑ...

පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා සිය වගකීම් ඉටු කර නොමැති බවත්, පොලිස්පතිවරයා අද දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද(26) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විදෙස් රටකින් අදාළ ප්‍රහාරය පිළිබඳව මෙරට බුද්ධි අංශය වෙත අප්‍රේල් මස 4 වන දින දැනුම් දී තිබු බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේය.

ප්‍රහාරවලට ප්‍රධාන හේතුව ලෙස හමුදා බුද්ධි අංශ නිලධාරීන් දුර්වල කිරීම හා හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරගත කර ගැනීම හේතුවක් වී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

අදාළ ප්‍රහාර පිළිබඳ පොලිස්පතිවරයා වෙත ලැබුණු ලිපිය නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති බව ද වාර්තා වෙයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා පමණක් බව ද පවසන ජනපතිවරයා පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම් ඇතුළු අනෙක් නිලධාරීන් වගකීම් පැහැර හැර ඇති බව ද පැවසීය.


ජනපතිගේ සිංගප්පූරු සංචාරය....


අප්‍රේල් මස 16 වන දින තමා ඉන්දීය සංචාරයක නිරත වු බවත්, තොරුතුරු ලැබී දින 12ක් ගත වුවත් ඒ පිළිබඳ තමා දැනුවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා හෝ පොලීසිය ක්‍රියා නොකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දින 12ක පමණ කාලයක් පොලීසිය හා ආරක්ෂක ලේකම්වරයා අතර පමණක් ලිපි හුවමාරු වී ඇති බව ද මෙහිදී පැවසීය.

කෙසේ වෙතත් තමා ඉන්දියාවේ දින 3ක් සංචාරය කර පසුව සිංගප්පූරුව බලා පිටත්වු අතර, පසුගිය 21 වන දින උදෑසන නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබු බව ද පැවසීය.

එදින පෙරවරුවේ මෙම ප්‍රහාරය එල්ල වු බව සිංගප්පූරුවේ තමා ආසන්නයේ සිටි පුද්ගලයෙකු සමාජ මාධ්‍ය උපුටා දක්වමින් තමන්ට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ලිපිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා දුරකථන ඇමතුමක් ලබා දී හෝ තමා දැනුවත් නොකරමින් වගකීම් පැහැර හැර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

අලුත් අවුරුද්දට බුලත් දෙද්දිවත් ආරක්ෂක ලේකම් හා පොලිස්පති ජනපති දැනුවත් කරලා නෑ...

අප්‍රේල් මස 22 වන දින උදෑසන ආරක්ෂක මණ්ඩලය රැස්වු බවත් එහිදී තමාගේ වගකීම් ඉටු නොකිරීම හේතුවෙන් මේ සිදුවු ඛේදවාචකයකට වගකීම භාර ගන්නේ කවුද යනුවෙන් තමා ප්‍රශ්න කර සිටි බව ද පැවසු ජනපතිවරයා, එහිදී පොලිස්පතිවරයා බිම බලාගෙන සිටි බව ද සඳහන් කළේය.

ආරක්ෂක අංශ දුර්වල කිරීම, බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීම හා ත්‍රිවිධ හමුදා දුර්වල කිරීම තුළින් සිදුවු මෙම සිදුවීමේ වගකීම රජය භාරගත යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ අතර, අද දිනයේ දි පොලිස්පතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බවට තමා විශ්වාස කරන බවත්, පුරප්පාඩු වු ආරක්ෂක ලේකම්ධූරයට අද දිනය තුළ අයෙක් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

අලුත් අවුරුද්දට තමා බැහැ දැකීමට පැමිණි ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා බුලත් දුන් වේලාවේදී හෝ තමාව දැනුවත් නොකිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව ද ජනාධිපති වරයා මෙහිදී නැවත වරක් කියා සිටියේය.

මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනපති ඉල්ලයි...

මෙන්ම සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන මෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ලෝකය පුරා ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය ඡාවාරම අතර විශාල සම්බන්ධතාවයක් පවතින බවත්, මෙම පහර දීම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එරෙහි වීම හේතුවෙන් ඉක්මන් වුවායැයි සිතිය හැකි බව ද ජනපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

IS ත්‍රස්තවාදීන් සියල්ල අල්ලනවා...

මේ වන විට පිපිරීම්වලට අදාළව ත්‍රස්ථවාදීන් බවට සැකපිට පුද්ගලයින් 70 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම රට තුළ අයි.එස් ත්‍රස්තවාදයන් සමඟ සබඳතා පවත්වන පුද්ගලයින් 130 ත් 140 ත් අතර ප්‍රමාණයක් සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද ජනාධිපතියවරයා කියා සිටියේය.

ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කඩිනමින් කටයුතු කරන බවද පැවසු ජනාධිපතිවරයා, මේ සඳහා විදෙස් විශේෂඥයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් බලාපොරොත්තු නොවු දෙයක් සිදුවු මෙවන් මොහොතක සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ද පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රටේ මුස්ලිම් ජනතාව සමඟ ගනුදෙනු කිරීමේ දි සියලු දෙනාගේ මනස හැදිය යුතු බව ද පැවසීය.

එමෙන්ම මාධ්‍ය මේ සම්බන්ධයෙන් සිය වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවත් පැවසු ජනපතිවරයා, ත්‍රස්ථවාදය මුලින්නුපුටා දැමීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කියා සිටියේය.