නයා මරන්න ඇනකොණ්ඩා හවුල්කර ගැනීමක් ගැන පුබුදු ජයගොඩ කියයි

නයා මරන්න ඇනකොණ්ඩා හවුල්කර ගැනීමක් ගැන පුබුදු ජයගොඩ කියයි

April 26, 2019   08:10 am

පසුගියදා සිදුවූ ප්‍රහාරයන්ගෙන් විශාල මරණ සංඛ්‍යාවක් සිදුව තිබියදීත් දේශපාලන නායකයන් එකිනෙකාට බෝල පාස් කරමින් සිටන බවත්, මේ සම්බන්ධ වගකීම බාරගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුත් නොවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කර සිටියි.

අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සහ ඉන්පසුව රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා,

"සිදුවීම වුණාට පස්සෙ මුලින්ම හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වෙ මේ සිදුවීම සම්බන්ධ වගකීම අගමැති රනිල් වික‍්‍රමසිංහ භාරගත යුතුයි කියලා.

මේ ප‍්‍රහාරය ගැන ආණ්ඩුව දැනගෙන ඉදලා ජනතාවට කිව්වෙ නෑ කියන චෝදනාව ඔහු කළේ.

එහෙත් මේ ප‍්‍රහාර ගැන අනතුරු ඇගවූ බුද්ධි අංශ නිවේදනය විපක්ෂ නායක හැටියට ඉන්න, හිටපු ජනාධිපතිවරයට දන්වා ඇති බව සඳහන් වෙනවා.

එහෙම තියෙද්දි එයා අනුන්ට බෝලෙ පාස්කරන්න මාධ්‍ය හමුවක් තියන්නෙ.

ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් පාස්කු දේව මෙහෙයට මහින්ද රාජපක්ෂගෙ බිරිය ශිරන්ති රාජපක්ෂ සහභාගි වෙනවා.

නමුත් පසුගිය ඉරිදා ඇය දේව මෙහෙයට ගියේ නෑ. ඒ අනුව, මෙහෙම අවදානමක් තිබෙන බව ඇය දැනුවත් වී සිටි බව පැහැදිලියි.

නමුත් විපක්ෂ නායකවරයා දැනගෙන මේ බව කියන්න ජනතාවට අනතුරු අගවන්න ටයුතු නොකර අනුන්නට බෝලෙ පාස් කරනවා.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා කියපු විදියට එයාගෙ තාත්තත් මේ ගැන අනතුරු ඇගවුව නිසා එයා මේක දැනගෙන තියෙනවා.

එතකොට දැන් මේ අනතුර ගැන දැනගෙන හිටියෙ නැත්තෙ එදා පාස්කු දේව මෙහෙයට සහභාගි වෙලා ආපදාවලට ලක්වුණ ජනතාව විතරයි.

දැන් විපක්ෂ නායකයා බොලේ පාස්කරපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මොකද කියන්නෙ? එයා කියනවා පහුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පස්සෙ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලටවත් එයාට එන්න කිව්වෙ නෑ කියලා. 

මේ ප‍්‍රහාර ගැන වගකීමෙන් නිදහස් වෙන්න රටේ අගමැති කියනවා, එයා ආරක්ෂක මණ්ඩලයට සහභාගි කරගත්තෙ නෑ කියලා. 
අගමැතිවරයට නිල බලයෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට වගකීමක් තිබෙනවා. ආරාධනාවක් අවශ්‍ය නෑ, එතැනට සහභාගි වෙන්න කවුරුහරි බාධා කරනවා නම් ඒක ජනතාවට කියන්න ඕන.

ඔක්තෝබර් 26 ඔහුව අගමැතිධුරයෙන් බවත් කළාම ඔහු බලහත්කාරයෙන් අගමැති ලෙස කටයුතු කළා, බලහත්කාරයෙන් අරලියගහ මණ්ඩලයේ රැුඳී සිටියා, බලහත්කාරයෙන් ඇමති මණ්ඩලය රැුස්වීම් පැවැත්වුවා.

ඒ ඔක්කොම කරලා ආරක්ෂක මණ්ඩලයට සහභාගි වෙලා නෑ. ඒ නිසා රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස වගකීමෙන් නිදහස් වෙන්න බෝලෙ පාස් කළේ ජනාධිපතිවරයට.

ජනාධිපතිවරයා බෝලෙ පාස්කරන්නෙ නිලධාරීන් මතට.

එයා කියනවා මෙහෙම ප‍්‍රහාරයක් ගැන මම දන්නෙ නෑ කියලා.

දැන් ඊයෙ පාර්ලිමේන්තුවේ වාද කළේ මේ ප‍්‍රහාර සම්බන්ධ අනතුරු ඇගවීම් ලැබුණේ අපේ‍්‍රල් 4 වැනිදාද 9වැනිදාද කියලා. අපේ‍්‍රල් 9 වැනිදා ලැබුණා කියලා හිතමු.

එදා ඉදලා 21 වැනිදා වෙනතුරු දවස් 12ක් ආණ්ඩුව මොකද කළේ?

මේ සම්බන්ධව පියවර ගන්න මේ තරම් කාලයක් තුළ බැරි වුණේ ඇයි? විපක්ෂ නායකවරයා අගමැතිට බෝලෙ පාස්කරනවා.

අගමැති ජනාධිපතිට පාස්කරනවා, ජනාධිපතිවරයා වගකීම සම්බන්ධ බොලෙ පාස්කරන්නෙ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින්ට. පොලිස්පතිවරයා බෝලෙ බිම දාලා.

එයා කියනවා මමත් මාස 4කින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වෙලා නෑ කියලා. එහෙම නම් කවුද මේ මරණවල වගකීම භාරගන්නෙ?

ජාතික ආරක්ෂාව ගැන කිව්වට දැන් එහෙම ආරක්ෂාවක් තිබිලා නෑ. ඒ නිසා මේ අය ජාතික ආරක්ෂාව කියලා කියන්නෙ ප‍්‍රභූන්ට. ආරක්ෂා වෙන්න කියලා කිව්වෙ ප‍්‍රභූවරුන්ට පමණයි.

අනතුරු ඇගවීමක්වත් ජනතාවට නිකුත් කළේ නෑ. පල්ලිවල මෙහෙම දෙයක් වෙයි කියලා අවම අනතුරු ඇගවීමක් කරන්න කවුරුවත් වගකීමෙන් කටයුතු කළේ නෑ.

විපක්ෂ නායකවරයා, විපක්ෂ නායක බිරිඳ, හරින් ප‍්‍රනාන්දුගෙ පියා, එයාට දුරකථනයෙන් කතා කරපු පොලිස් ප‍්‍රධානින් වගේ අය මේ ගැන දැනගෙන ඉදලා තියෙනවා.

ජෝන් අමරතුංගත් මේ වගේ අනතුරක් වෙන්න යනවා කියලා දැනගෙන ඉදලා. මනෝ ගනේෂන් ඇමතිවරයගේ ආරක්ෂාවට ඉන්න සාමාන්‍ය පොලිස් නිලධාරිනුත් මේ ගැන දැනගෙන ඉඳලා තිබෙනවා."

යනුවෙන් සිය අදහස් පල කර සිටියේය.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ද ඒ මහතා සිය අදහස් පල කර සිටියේය.

"දැන් වෙලා තියෙන හානියට පස්සෙ ආරක්ෂාවෙ නාමයෙන් මර්දන නීති සම්මත කිරීමට නියමිතයි. ආරක්ෂාවෙ නාමයෙන් විදේශ හමුදා, ඔත්තු සේවා වැද්දගන්න නියමිතයි.

අපි කියනවා මේ විනාශය වුණාට පස්සෙවත් එවැනි මුග්ධ දේශපාලන තීරණ ගන්න එපා.

පාර්ලිමේන්තුවෙදි අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒ ගැන කියද්දි ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් එක්කෙනෙක්වත් වචනයක් කිව්වෙ නෑ. මේ අන්තවාදී ජාත්‍යන්තර කල්ලි කියන්නෙ විදේශ ඔත්තුසේවා යටතේ හැදිලා වැඩිලා ක‍්‍රියාත්මකවන බලවේග බව.

එක්සත් ජනපද ඔත්තුසේවාව විසින් මේ අයි.එස්. සංවිධානය ඇතුළු අන්තවාදීන් නඩත්තුකරන බව කියන්න එක මන්ත‍්‍රීවරයෙක් හිටියෙ නෑ."