මුතුපන්තිය උග්‍ර ඛාදනයක-නිවාස මුහුදුබත් වීමේ අවදානමක්

April 25, 2019   01:30 pm

ආරච්චිකට්ටුව මුතුපන්තිය වෙරළ තීරය මසක් ඇතුළත දෙවන වරටත් උග්‍ර මුහුදු ඛාදනයට ලක් වීම හේතුවෙන් නිවාස කීපයක් මුහුදුබත් වීමේ අවදානමක් මතුව ඇත.

අද (25) පෙරවරුව වන විට මුතුපන්තිය හා උඩප්පුව ධීවර ගම්මාන යා කළ ප්‍රධාන මාර්ගය මුළුමනින් මුහුදු බත් ව ඇති අතර ඊයේ  (24) පස්වරුවේ මුතුපන්තිය ගම්මානය හා උඩප්පුව ගම්මානය සම්බන්ධ වූ කුඩා බිම් තීරුව උඩින් මුහුදු ජලය කලපුවට ගලා ගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

වසර කීපයක සිට මේ වෙරළ තිරය මුහුදු ඛාදනයට නතු වෙමින් තිබෙන අතර පසුගිය වසරේ සිට මේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් ගල් වැටී දැමීමද සිදු කර ඇත.

මේ වන විට එම ගල්වැටි දැමීම සිදු නොවූ ප්‍රදේශය උග්‍ර මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින අතර ගල්වැටි දැමු ප්‍රදේශයද අනතුරුදායක මට්ටමක පවතින බව වාර්තා වෙයි. 

මේ පිළිබදව ඉක්මන් පියවරක් ගන්නා ලෙස ප්‍රදේශවාසී ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.