හදිසි සෝදිසි මෙහෙයුම් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා

හදිසි සෝදිසි මෙහෙයුම් ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා

April 25, 2019   12:38 pm

දිවයින පුරා මාර්ග බාධක යොදා සිදුකරන හදිසි සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.‍

ඒ හේතුවෙන් කිසිදු අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ නගරය තුළ මාර්ග බාධක යොදා සැකකටයුතු පුද්ගලයින් සහ වාහන පරික්ෂා කිරීම දැඩිව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම තත්ත්වය යටතේ ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු නොමැති අතර එම කටයුතු සඳහා උපරිම සහය ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ආරක්ෂක කටයුතු සඳහා හමුදා සාමාජිකයින් 6000ක පමණ පිරිසක් අනුයුක්ත කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසා සිටියේය.

ඔබට විශ්වසනීය තොරතුරු වාර්තා කරන අද දෙරණ මේ සියලු සිදුවීම් පිළිබඳ තොරතුරු ඔබට ගෙන එන්නේ තහවුරු කර ගත යුතු සියලුම මුලාශ්‍රවලින් තහවුරු කරගැනීමෙන් අනතුරුවයි.

සමාජ ජාල ඇතුළු ඇතැම් මාධ්‍යවල මේ වන විට රටේ ඇතැම් ස්ථානවල සිදුවෙමින් පවතින සෝදිසි මෙහෙයුම් සම්බන්ධයෙන් විවිධ තොරතුරු සංසරණය වෙමින් පැවතියද එම තොරතුරුවලින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස අද දෙරණ මාධ්‍ය ජාලය ජනතාව දැනුවත් කර සිටින්නෙමු. 

අපට වාර්තාවන සියලුම  සිදුවීම්වල සත්‍ය තොරතුරු අවශ්‍ය අංශවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එසැනින් ඔබට වාර්තා කිරීමට අද දෙරණ සෑම මොහොතකම සුදානමින් සිටී. 

එබැවින් ඔබට විවිධ මූලාශ්‍රයන්ගෙන් ලැබෙන අසත්‍ය තොරතුරුවලින් නොසන්සුන් තාවයට පත් නොවී සත්‍ය ප්‍රථමයෙන් දැනගැනීම සඳහා ඉදිරියටත් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයන්, අද දෙරණ වෙබ් අඩවි සහ අද දෙරණ කෙටි පණිවුඩ සේවාව කෙරෙහි විශ්වාසය තබන ලෙස දන්වා සිටිමු.