ශ්‍රී ලංකාව සමඟ සිටින බවට ලෝක නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

ශ්‍රී ලංකාව සමඟ සිටින බවට ලෝක නායකයින්ගෙන් ජනපතිට සහතිකයක්

April 25, 2019   12:35 pm

ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා ඇතුලු ලෝක නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රකාශ කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ සිදු වූ බිහිසුණු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් ඔවුන් සිය කණගාටුව හා සංවේගය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනාධිපතිවරයාට සහතික වී ඇති එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිද්ධියෙන් මියගිය පවුල් වෙත සිය සංවේගය පල කරන බවත් තුවාල ලැබූවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කර ඇත.

මේ අතර පාකිස්ථාන ජනාධිපතිවරයා මෙන්ම තුර්කි ජනාධිපතිවරයා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් කණගාටුව සහ සංවේගය පල කර ඇති අතර ත්‍රස්තවාදය දැඩි ලෙස හෙදා දකින බව ද අවධාරණය කර ඇත.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  සහ කටාර් එමීර්වරයා ද ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැදෙගෙන සිටින බව අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.