අහිමි වු දෙස් විදෙස් ජීවිත වෙනුවෙන්

අහිමි වු දෙස් විදෙස් ජීවිත වෙනුවෙන්

April 25, 2019   10:28 am

පාස්කු ඉරිදා දින එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සහ තුවාල ලද විදේශීය සංචාරකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිහිපත් කර පහන් දැල්වීමේ පූජාවක් කටුනායක ගුවන් තොටුපළ බුදු මැදුර අභියස පවත්වා තිබේ.

මෙම අවස්ථාවට ආගමන - විගමන පාලක ජනරාල් පසන් රත්නායක , කටුනායක ගුවන් තොටුපළ ආගමන-විගමන දෙපාර්තමේන්තු සහකාර පාලක සුජීව රත්නායක ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි සංචාරකයන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර , තවත් පිරිසක් තුවාල ලබා සිටිති.

ඔවුන්ගේ සුව දුක් විමසීමට මේ වනවිට විශාල විදේශීකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ඔවුන්ට අවශ්‍ය වීසා සහනයන් මෙන්ම , ඔවුන් සමඟ ශෝකය බෙදාගනිමින් , ඔවුන්ට අවශ්‍ය අනෙකුත් මඟ පෙන්වීම් සහ සහනයන් ද ලබා දීමට ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරන බව එහි සහකාර පාලකවරයා සඳහන් කළේය.