මල් වට්ටියක් අරගෙන පන්සල් ගියාට බෞද්ධයෙක් වෙන්නේ නෑ
March 18, 2019 08:53 pm
පන්සිල් පද පහ හා ධර්මය හරියට අවබෝධ කර නොගෙන පන්සල්වලට පැමින බෞද්ධකම ආරෝපණය කර ගන්නා උදවිය අද සමාජයේ වැඩි වශයෙන් සිටින බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
මල් වට්ටියක් රැගෙන පන්සල් ගානේ ගියාට බෞද්ධයෙකු නොවන බවද එතුමිය පැවසීය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති සිසු දහම් සෙවන වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත බලංගොඩ සමනලගම ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.
තම පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට නාම යෝජනා ලබා නොදෙන්නේද බෞද්ධ ධර්මයට හා චීවරයට තිබෙන ගෞරවය නිසා බවද ඇය ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය,
("සජිත් අමතිතුමා විහාරස්ථාන මුලික කර ගෙන වැඩ සටහන් කරන්නේ අද ඊයේ නෙවෙයි.විහාරස්ථාන මුලික කර ගෙන සසුනට අරුණ මුළු රටේම සිදු කර ගෙන ගියා.
මේ වැඩ පිළිවෙළ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කර ගෙන ආවා. පසුගිය දවසක මුළු රටේම චෛත්‍ය 25 ක් ඉදි කරන කටයුතු ආරම්භ කළා.
අපි විරුද්ධ පක්ෂයේ හිටපු කාලයේ කරපු ඒවා සමහර අය දන්නේ නැහැ. රජයක් හැටියට කරන දේවල් සමහර අය දන්නේත් නැහැ. එක්සත් ජාතික පක්ෂයට හා රජයට නිරන්තරයෙන් චෝදනා කරනවා අපි බෞද්ධ ආගම ආරක්ෂා කරන්නේ නැහැ බෞද්ධයින් ආරක්ෂා කරන්නේ නැහැ කියලා විහාරස්ථානයට මුල් තැන දෙන්නේ නැහැ කියලා .
අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය තමයි ස්වාමීන් වහන්සේලාට දේශපාලනය අකැපයි කියලා ක්‍රියාකාරී දේශපාලනය.
කිසිම මැතිවරණයකට නාම යෝජනා ලබා දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාගේ ගරුත්වය මේ දරා ගෙන ඉන්න චීවරයට ලබා දෙන ගරුත්වය බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට තියෙන ගරුත්වය ආරක්ෂා කරන්න ඕන නිසා.
ඒ ස්වාමීන් වහන්සේලාට කිසිම මැතිවරණයකට තරග කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි එකම කාරණය. හැබැයි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට දේශපාලන පක්ෂවලට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකට තහංචියක් නැහැ.") යැයි පැවසීය.