උකුසු ඇසට හසු වු තවත් වංචනික ක්‍රියාවක්

උකුසු ඇසට හසු වු තවත් වංචනික ක්‍රියාවක්

March 18, 2019   07:01 pm

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුකරමින් බණ්ඩාරගම ශාඛාවේ සිදු වූ නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

අද උකුස්සාගේ හෙළිදරව්ව ඒ පිළිබඳවයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ශාඛාවේ කලක පටන්  පිරිසිදු පානීය ජලය රහසිගතව නීති විරෝධී අයුරින් අලෙවි කරනු ලබන ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම මණ්ඩලයේ නිලධාරීන් හා එක්ව අද දෙරණ උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළේය.

එහිදී උකුස්සා සිදුකළ මූලික සොයා බැලීම්වලදී අනාවරණ වුණේ උදෑසන 08ත් සවස 05ත් අතර කාලය තුළදී මෙම ශාඛාවෙන් ජලය බෙදා හැරීමට ජලසම්පාදන මණ්ඩලයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී මෙහි සිටින ආරක්ෂක නිලධාරියා විසින් ඉතා සූක්ෂම අයුරින් මෙම බණ්ඩාරගම ජලසම්පාදන කාර්යාලයෙන් ජලය බවුසර වෙත අලෙවි කරන බවට උකුස්සාට කරුණු අනාවරණ කරගත හැකි විය.

ඒ අනුව ජලසම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සමඟ එක්ව මෙම කූට ව්‍යාපාරය නීතියේ රැහැනට හසුකර ගැනීමට උකුස්සා මෙහෙයුමක් ආරම්භ කළ අතර එහි පළමු පියවර ලෙස රාත්‍රී කාලයේදී උකුස්සා එම ස්ථානයට ළඟා  විය.

අප එහි යනවිටත් ජල බවුසරයක් සඳහා අදාලා ආරක්ෂක නිලධාරීයාගේ අනු දැනුම මත ජලය පුරවමින් සිටියේය.

එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් ජල බවුසරයක් එහි රියදුරු සමඟ සිය භාරයට ගනු ලැබුවේය.

මෙහිදී සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වුණේ ආරක්ෂක නිලධාරියා විසින් සූක්ෂ්ම ලෙස මෙහි ජල මීටරය ක්‍රියා විරහිත කර ඇති ආකාරයයි.

අනතුරුව මෙහි අනවසරයෙන් ජලය පිරවීම සඳහා පැමිණි ජල බවුසර 3ක් සහ ආරක්ෂක නිලධාරියා ඇතුළු දෙදෙනෙකු බණ්ඩාරගම පොලීසියට භාර දෙනු ලැබුවේය.

එහිදී මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මෙම ස්ථානයෙන් රුපියල් 1200ක මුදලකට ගනු ලබන ජල බවුසරයක් රුපියල් 7500ත් 12000ත් අතර මුදලකට පෞද්ගලික ආයතනවලට අලෙවි කරන බවයි.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා නීතියේ රැහැනට හසුකරදීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.