වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරලා

වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරලා

March 18, 2019   06:15 pm

වැඩබිමක්ව තිබු රට අද මුඩු බිමක් බවට පත් කර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

තම පාර්ෂවයේ ආණ්ඩුව පරාජය වී මේ වන විට වසර හතරක් ගත වි ඇති බවත් ඒ අවුරුදු හතර තුළ රට සංවර්ධනය කරගෙන ආපු වේගය නතර වි ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි.

වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් බවට පත් වී ඇති බවත් එම නිසාම ආර්ථිකය කඩා වැටි ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 2018 වසර අවසානයේ සාදා නිම කිරීමට තිබු කොළඹ - නුවර අධිවේගී මාර්ගය හා අනෙකුත් සංවර්ධන කටයුතු අඩාල වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (17) පස්වරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නීතිඥ සංගමය පිහිට වු අවස්ථාවට එක් වෙමින් පැවසීය.

 වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා, 

("සංවර්ධනය අඩාලවීම නිසා මිනිසුන්ගේ අතේ සල්ලි නැති වුණා. ඒක ව්‍යාපාර සියල්ලටම බලපෑවා. ව්‍යාපාර කඩා වැටුනා. 

දැන් සමහරUNPට සම්බන්ධ ව්‍යාපාරිකයින් මම හමු උනාම අහනවා කවද ද ආණ්ඩුවක් පිහිටුවන්නේ කියලා. මම ඔවුන්ගෙන් ඇහුවම ඔයාලා ආණ්ඩුවක් පිහිටෙව්වානේ කියලා එයාලා කියනවා ඒකේ විපාක දැන් තමයි තේරෙන්නේ කියලා.

ව්‍යාපාර කඩා වැටීම තුළින් රටේ ආර්ථිකය කඩා වැටුණා. ණය ගැන කථාකරමින් ණය ගන්න පටන් ගත්තා. මම ණය අරගෙන වරාය හැදුවා. එය හැදුවේ අපේ පාලනය යටතේ තියාගෙන අනෙක්  අයට පාවිච්චියට දීමට.

නමුත් අවසානයේ එය චීනයට විකුණා දැම්මා. දැන් මත්තල ගුවන්තොටුපලත් ඉන්දියාවට විකුණන්න හදනවා. මේ විදියට සෑම සම්පතක්ම විකුණාගෙන ගියාම රටට මොනවද ඉතිරිවෙන්නේ.

අනාගතයේ ඉපදෙන ඉන්න දරුවන්ට අයිති දේවල් තමයි  අවුරුදු පහකට බලය අරගෙන විකුණාගෙන යන්නේ.

ඔක්තොම්බර් 26 වැනිදා ජනාධිපතිවරයා අපට අගමැතිකම භාරගන්න කිව්වා. අපි එය භාර ගත්තා. හුඟක් අය කියනවා ඒක මම කරපු වරදක් කියලා. දේශපාලනික වශයෙන් එය මට හානියක් වෙන්න පුළුවන්. 

එමඟින් ආණ්ඩුවේ 2/3 බලය නැති වුණා. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට තිබු අවස්ථාව නැති වුණා. එමඟින් රටට සෙතක් වුණා. ජනාධිපතිවරයා විපක්ෂය සමඟ වැඩ කරන්න පටන් ගත්තා.

මේ ආණ්ඩුව කරගෙන යන ජනතා විරෝධි වැඩ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ ආණ්ඩුව අය කළා වගේ දෙගුණයක් බදු ජනතාවගෙන් අය කරගෙන ආදායම වැඩි වුණාලු. නීතියේ ආධිපත්‍ය ගැන එදා කථා කළා.

නමුත් නීතියට අද මොකද වෙලා තියෙන්නේ. නීතිය වල් වැදිලා. අවුරුදු 04ක් තිස්සේ පලිගන්නවා. අලුත් අධිකරණ පිහිටෙව්වා. තෝරාගත්ත මිනිසුන්ට විරුද්ධව නඩු පැවරුවා. ඇමතිවරුන් නීතිපතිට කථාකර නඩු පවරනවා. FCID එකට ගෙන නොගිය කෙනෙක් විපක්ෂයේ නැහැ. නීති විරෝධි ලෙස FCID එක හදලා නීති විරෝධි ලෙස නඩු පවරමින් යනවා. අද FCID එකටත් චෝදනා තියෙනවා.

සෑම දෙයක්ම රාජපක්ෂවරුන් පිට පැවරීමටයි කටයුතු කරන්නේ. පිළිගන්න බැරි විදියට බොරු චෝදනා එල්ල කරනවා. අපට හොරු හොරු කිව්වා.  ඩොලර් බිලියන 18ක් මගේ ලඟ තියෙනවා කිව්වා. බොරුව නිතරම කියනකොට ජනතාවත් එය විශ්වාස කරන තත්ත්වයට පත්වෙනවා.

මහ බැංකු වංචාව අද යට ගිහින්. ඒ ගැන පරීක්ෂණ ඇනහිටලා. ජනතාවට දැන් එය අමතක වෙලා. දුෂණය ගැන කථාකරමින් තමන්ම හොරකම් කරන පිට්පොකට් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා. ඒ නිසා රට ගොඩ නගන්න පුළුවන් රට ගොඩ නගපු රජයක් බිහිකිරීමට කාලය එළඹ ඇති බවයි")