ලක්ෂ ගණනක හෙරෝයින් සමඟ අයෙක් මාට්ටු

ලක්ෂ ගණනක හෙරෝයින් සමඟ අයෙක් මාට්ටු

March 16, 2019   09:06 am

රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (15) රාත්‍රී 7.00ට පමණ කොස්වත්ත පොලිස් වසමේ, හාල්දඬුවන ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්දඬුවන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 34 හැවිරිදි අයෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර සිටියි.

සැකකරු හෙරෝයින් මත්කුඩු තොගය යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීට පෙර හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂත බන්ධනාගාර ගතව සිටි ඇති අයෙකු බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

රක්ෂිත බන්ධනාගාරයේදී ඇති කර ගත් සම්බන්ධතා මත සැකකරු මහා පරිමාණයේ හෙරෝයින් ජාවාරමට යොමු වී ඇත. ඒ අනුව තොග වශයෙන් හෙරෝයින් මත් කුඩු පිටස්තර ප්‍රදේශ වලින් ගෙනවිත් කුඩා ප්‍රමාණයේ පැකට් වලට අසුරා කොස්වත්ත හා අවට බෙදා හැරීම සිදුකර ඇති බව හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් හෙරෝයින් මත් කුඩු සහ සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්වත්ත පොලීසියට බාරදීමට හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.