ගම්මිරිස් වගාවට දිලීර රෝගයක්

ගම්මිරිස් වගාවට දිලීර රෝගයක්

March 15, 2019   08:34 pm

දිවයින පුරා ගම්මිරිස් වගාවට  ‘ෆයිටොප්තෝරා  කැප්සීසී’ නම් දිලීරයකින් පැතිරෙන ක්ෂණික මැළවීමේ රෝගය පැතිර යමින් පවතින බව හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් ගම්මිරිස් ගොවීන් අවධානයෙන් පසුවිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ ආයතනයේ ශාඛ ව්‍යාධි විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ විජේකෝන් මහතා පවසා ඇත.

මේ වන විට දිවයින පුරා පවතින ක්ෂණික මැළවීම නම් වන මෙම දිලීර රෝගය සම්බන්ධයෙන් අද (15)මාධ්‍ය වෙත අදහස් දක්වමින් එ් මහතා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

 ඒ මහතා සඳහන් කර ඇත්තේ වැසි ඇති වී පෑයීමෙන් මාසයකට පමණ පසුව ක්ෂණික මැලවීමේ රෝගය ඇති වීමේ අවදානම පවතින බවය.

දැනට මෙම රෝගය දිවයින පුරා වාර්තා වන බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ තරමක් වසංගත තත්වයකින් මෙය වාර්තා වන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මෙම දිලීර රෝගයේ රෝග ලක්ෂණ වශයෙන් කොළ, කරල්, වැල් ඇතුළු සියලු කොටස්  කහපාට වීමත් සති දෙකකින් පමණ කොළ කරල් මෙන්ම වැල්ද මැලවී වැටීමත් සිදු වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත.

මෙම රෝගයේ රෝග කාරකය පවතින්නේ වැලේ මුල්වල බැවින් දිලීර නාශක මුල්වලට යෙදිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම රෝගය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් වී අවධානයෙන් සිට රෝගය මුල් අවස්ථාවේ හඳුනා ගත යුතු අතර හඳුනා ගැනීමෙන් පසුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිළධාරීන් හට දන්වා නිර්දේශිත දිලීර නාශක යෙදීම මඟින් රෝගය පාලනය කර ගත හැකි බව වාර්තා වෙයි.