ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයාට දේශප්‍රේමී ලාංකික සංසදයෙන් චෝදනාවක්

ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයාට දේශප්‍රේමී ලාංකික සංසදයෙන් චෝදනාවක්

March 15, 2019   08:13 pm

බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 05ක් සමඟ එක්ව මෙවර ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනාවට ජීනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අෂිස් මහතා අත්සන් තබා තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව නොවන බව දේශප්‍රේමී ලාංකික සංසදයේ විධායක සභික මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා කරයි.

අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට එක්වෙමින් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ එම යෝජනාවට අත්සන් තබන ලෙස නිත්‍ය නියෝජිතයාට උපදෙස් ලබාදී ඇත්තේ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍යවරයෙක් බවයි. 

ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මහකොමසාරිස්වරියගේ වාර්තාව මේ මස 20 වනදා සැසිවාරයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජීනීවා වෙත පිටත්ව යනු ඇත.

මේ අතර යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ඒකාබද්ධ අණ දෙණ  නිලධාරීයා ලෙස කටයුතු කළ ලුතිතන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වසර 05ක් උතුරේ දිස්ත්‍රික්ක තුනක අණ දෙන නිලධාරීයා ලෙස කටයතු කිරීමෙන් අනතුරුව සිංහ රෙජිමේන්තු මූළස්ථානයට ස්ථාන මාරුවීම් ලබා පිටත්ව යන අවස්ථාවේ උතුරේ දෙමළ ජනතාව එම සමුගැනීමට ඉතා සංවේදීව  ප්‍රතිචාර දක්වා සිටියා.

කෙසේවෙතත් යුද හමුදාවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව තමන් සිවිල් පුරවැසියෙකු ලෙස මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයට කරුණු දැක්වීම සඳහා පිටත්ව යන බව හිටපු ලුතිතන් කර්නල්වරයා අද දෙරණට සඳහන් කළේය.