ජපන් රැකියා සිහිනය පෙන්නා මුදල් ගත් හොර ආයතනයක් වටලයි

ජපන් රැකියා සිහිනය පෙන්නා මුදල් ගත් හොර ආයතනයක් වටලයි

March 15, 2019   11:51 am

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් ගෙන් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් වටලා  එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(14) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වැටලීම සිදුකර ඇත. 

එම ආයතනයේ නීති විරෝධිව මුදල් රැස් කරමින් හා ජපන් රැකියා සඳහා බදවාගැනීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොළොන්නරුව හා තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී  ගුවන් ගමන් බලපත්‍ර 13, ජපන් රැකියා සඳහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සදහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

ගුවන් ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, එම ආකාරයෙන් මුදල් ලබාදුන් පුද්ගලයින් කිහිප දෙනෙකුද විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාද විමර්ශන නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.