ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා ද? මෛත්‍රී ද?

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා ද? මෛත්‍රී ද?

February 21, 2019   01:18 pm

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය සහ පොදුජන පෙරමුණ අතර අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(20) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට පැමිණිම සම්බන්ධයෙන් තමා ඇතුළු පක්ෂය සතුටට පත්වන බවත්, නමුත් පොදු ජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගත වීමේ සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එසේ වුවහොත් ජනාධිපතිවරයා ද නැවත වතාවක් ඡන්දයට ඉදිරිපත් විය හැකි බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එවැනි තත්ත්වයක් උදා වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් මැතිවරණයට ඉදිරිපත් විය හැකි බව ද කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

අද වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉතා පැහැදිලි ලෙසම සන්ධාන ගත වන බව පවසන අතර, මෙනිසා ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය ද? නැතිනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ද? යන්න පිළිබඳ මත ගැටුමක් ඇතිව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයෙකු සමඟ තරඟ කරන්න හොඳ අශ්වයෙක් තම පක්ෂයේ සිටින බව ද කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.