යාපනයේ දී මාධ්‍යවේදියෙකුට පහර දුන් පොලිස් නිලධාරියාට ඇප

යාපනයේ දී මාධ්‍යවේදියෙකුට පහර දුන් පොලිස් නිලධාරියාට ඇප

February 21, 2019   11:37 am

යාපනය පෞද්ගලික රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදීයෙකු හට පහරදීම සම්බන්ධයෙන් කෝපායි වැඩබලන ස්ථානාධිපතිවරයා ඊයේ(20) අත්අඩංගුවටගත් බව යාපනය පොලීසිය පවසයි.

පහරදීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය කෝපායි වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජි ගුණරත්න නැමති නිලධාරියකු බව වාර්තා වෙයි.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් සිවිල් ඇඳුමින් පැමිණ මාධ්‍යවේදියාට පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය. 

මෙලෙස පහරදී ඇත්තේ යාපනය සිට විකාශයවන පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාණ්ඩලික වාර්තාකරුවකු වූ කුගරාජ් නඩරාජ් නැමැත්තෙකි.

එම පහරදීම හේතුවෙන් අදාල මාධ්‍යවේදියා මේ වන විට යාපනය රෝහලෙහි නේවාසික ප්‍රථිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

යාපනය,කොක්කුවිල්, කරුවෙම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට 19 වැනිදා දහවල් කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියක් ආවරණය වෙත වෙත අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව යාපනය දිස්ත්‍රික් මාධ්‍ය සංගම් නියෝජිතයින් පැවසූහ.

යාපනය දිස්ත්‍රික් මාධ්‍ය සංගම් නියෝජිතයින් පැවසූවේ තුවාලකරුගේ මුහුණ ආශ්‍රිත ප්‍රදේශයේ තුවාල සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු කුගරාජ් නඩරාජ් මහතා කියා සිටියේ මෙවැනි අදහසකි. 

“මට තොරතුරක් ආවා කොක්කුවිල් හි නිවසකට පෙට්‍රල් බෝම්බයක් එල්ල කරලා තියෙනවා කියා. එම ස්ථානයට ළඟාවන විට කෝපායි පොලිසියේ නිලධාරීන් දහදෙනකු සිවිල් ඇඳුමින් සැරසී පැමිණ සිටියා. 

මම ඔවුන්ට බාධාවක් නොවන පරිදි මගේ කැමරාවෙන් සිදුවීම වීඩියෝ කළා පසුව එහි එක් අයෙක් පැවසුවා ස්ථානයෙන් පිටත සිට වීඩියෝ දර්ශන ලබා ගන්නා ලෙස. 

මා ඔහු කියූ පරිදි සිද්ධියවූ ස්ථානයෙන් පිටත මාර්ගයේ සිට වීඩියෝ දර්ශන ලබාගැනීම ආරම්භ කළා. 
එම අවස්ථාවේදී ප්‍රකෝපකාරීව හැසිරෙමින් පැමිණි කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයා මා හට පහරදෙමින් අසභ්යැ වචනයෙන් බැන වැදී වීඩියෝ දර්ශන ගැනීම නවතාදමන තර්ජනය කළා. 

පසුව ඔහුට විරුද්ධව පුළුවන් නම් ක්‍රියාමාර්ග ගෙන පෙන්වන ලෙසත් එලෙස සිදුකළහොත් බලාගමු යැයිද පවසා සිටියා.

පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටිම නිසා මා එම ස්ථානයෙන් ඉවත්ව යාපනය පොලීසිය වෙත සිද්ධිය පිළිබද දැණුම්දී යාපනය රෝහල වෙත ඇතුලත් වුණා.“

අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියා ඊයේ(20) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුට රුපියල් 50,000 ක  ඇප මත කිරීමට ‍නියෝග කළ අතර නඩු විභාගය මාර්තු 26 වැනිදා නැවත කැඳවන බවටද අධිකරණය නියෝග කළ බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.