මහින්ද ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ පෙත්සම මාර්තුවල යළි කැඳවයි

මහින්ද ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ පෙත්සම මාර්තුවල යළි කැඳවයි

February 21, 2019   11:21 am

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරු වලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ සිද්ධියට අදාළ පෙත්සම මාර්තු මස 12 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ අද(21) කැඳවනු ලැබූවේය.

එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවයි.

ඒ පිළිබඳව දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන මෙන්ද එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම මාර්තු මස 12 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයාට දුන්නේය. 

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් ඉකුත් දෙසැම්බර් මස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.