උකුසු ඇසට හසුවු ගබ්සා මධ්‍යස්ථානය

උකුසු ඇසට හසුවු ගබ්සා මධ්‍යස්ථානය

February 20, 2019   07:08 pm

නිකවැරටිය ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වගෙන ගිය රජයේ වෛද්‍යවරයෙකු පිළිබඳව උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

අද හෙළිදරව්ව එම ගබ්සා මධ්‍යස්ථානය නීතියේ රැහැනට හසුකර ගැනුණු ආකාරය පිළිබඳවයි.

නිකවැරටිය ප්‍රදේශයේ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වගෙන ගිය රජයේ වෛද්‍යවරයා සමඟ 
ගබ්සා සිදුකරන අකාරය සම්බන්ධයෙන් අප උපායදූතයා පළමුවෙන්ම කතබහ කරගනු ලැබුවේ මෙලෙසින්.

ඒ අනුව මෙම නීතිවිරෝධී ක්‍රියාව නීතියේ රැහැනට හසුකර ගැනීමට උකුස්සා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැමිණි පොලිස් කණ්ඩායමක් සමග මෙහෙයුමක් ආරම්භ කළේය.

එහිදී වෛද්‍යවරයා පැවසූ අකාරයට උපායදූතයෙකු සමගින් ගබ්සාව සිදුකර ගැනීමට බව පවසමින් යළිත් වරක් උකුස්සා එම ස්ථානයට ගියේය.

එම අවස්ථාවේදී වෛද්‍යවරයා ගබ්සාව සිදුකර ගැනීමට බව පවසමින් පැමිණි පොලිස් උපායදූත කාන්තාව පරීක්ෂා කිරීමට උත්සාහ කළේය.

මෙහිදී ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන් වෛද්‍යවරයාව අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ගබ්සා මධ්‍යස්ථානය සෝදිසි කළ පොලිස් නිලධාරීන් ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා වෛද්‍ය උපකරණ තොගයක්ද සොයා ගත්තේය.

එමෙන්ම අප මෙම ස්ථානයට ළඟාවීමට පෙර අදාල වෛද්‍යවරයා විසින් තවත් ගබ්සාවක් සිදුකර තිබූ අතර එහි කළල කොටස්ද පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

පසුව වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අතරතුරදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අදාල කලල කොටස් සහ අතැම් වෛද්‍ය උපකරණ අධිකරණය වෙත ඉදිරිපත් නොකරන ලෙසයි.

අනතුරුව වෛද්‍යවරයා සහ වෛද්‍ය උපකරණ නිකවැරටිය පොලීසියට භාරදුන් අතර වෛද්‍යවරයා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඉදිරියේදීත් මෙවැනි නීති විරෝධී ක්‍රියා නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.