වෛද්‍යවරයෙක් ගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක්

වෛද්‍යවරයෙක් ගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක්

February 19, 2019   10:33 pm

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 650 ක් පමණ සිදුවන බව මෑතක සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 

මෙසේ තරුණ ජීවිත අනතුරේ හෙළමින් , රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකිවුණි.

අද අනාවරණය ඒ පිළිබඳවයි.

ගබ්සාව මෙරට තුළ නීතියෙන් තහනම් වෙයි.

එසේ වුවද කායික හෝ මානසික ලෙස මවගේ ජීවිතය දැඩි ලෙස අනතුරට පත්ව ඇති මොහොතක තමන්ගේ ජීවිතය බේරාගැනීමේ පරම අරමුණින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට පහසුකම් ඇති රෝහලකදී ගබ්සාවක් කිරීමට ශ්‍රී ලංකාවේ නීතිය ඉඩ සලසා දී තිබේ.

ඒ හැර අනෙකුත් හැම අවස්ථාවකම ගබ්සාව නීතිවිරෝධී වන අතර ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 සිට 309 දක්වා වගන්ති ඊට අදාළව ක්‍රියාත්මකයි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු විසින් නිකවැරටිය තානායම පාරේ කලක පටන් නීති විරෝධී අයුරින්  පවත්වගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ උකුස්සා අදාල ගබ්සා මධ්‍යස්ථානය  සොයා නිකවැරටිය ප්‍රදේශයට ළඟා වන්නේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි පැමිණි පොලිස් උපාය දූතයෙකුද සමඟිනි.

අනතුරුව අදාළ ගබ්සා මධ්‍යස්ථානය පවත්වගෙන ගිය වෛද්‍යවරයාව උකුස්සා මුණ ගැසී ඔහු ගබ්සා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කතාබහ කරනු ලැබුවේය.