ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව ප්‍රාන්ත 16කින් නඩුවක්
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව ප්‍රාන්ත 16කින් නඩුවක්

February 19, 2019   08:01 am

අමෙරිකානු ප්‍රාන්ත 16ක් එක්ව ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩුවක් ගොනුකර තිබේ.

ඒ දේශ සීමා තාප්පය ඉදිකිරීමේ ගැටළුව මුල්කරගනිමින්  රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයට එරෙහිවයි.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශ සීමා තාප්පයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුදලක් ලබාදෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම එරට කොංග්‍රසයෙන් ප්‍රතික්ෂේප විය.

ඒ සමග කොංග්‍රසයේ අවසරයෙන් තොරව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයාගත හැකි වන පරිදි හදිසි බලතල ලබාදෙන මෙන් ට්‍රම්ප් ඉල්ලීමක් කළේය.

ඔහුගේ පරිපාලනයට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්තය ප්‍රමුඛ ප්‍රාන්ත 16ක් නඩු මගට පිවිස තිබෙන්නේ ඉන් අනතුරුවයි.

ජනාධිපති බලතල අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා අධිකරණය ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිවරයා පවසයි.

එමෙන්ම බදුගෙවන්නන්ගේ මුදල් ඒකපාර්ශ්විකව සොරකම් කිරීමට ට්‍රම්ප්ට ඉඩ ලබා නොදෙන බවද අදාළ ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේය.

මේ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව රටපුරා විරෝධතා රැසක්ද ක්‍රියාත්මකයි.