අයවැයෙන් මහ ලොකු පොතක් රටට ඉදිරිපත් කළා

අයවැයෙන් මහ ලොකු පොතක් රටට ඉදිරිපත් කළා

February 18, 2019   07:19 pm

ඉකුත් යුද සමයේ පවා පත් නොවූ අර්බුදකාරී තත්ත්වයකට අද වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් ක‍ළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව කියනවා රාජ්‍ය සේවකයාගේ පඩිනඩි ගෙවා ගන්න බැරි තත්ත්වයට රට පත්වෙලා. සංවර්ධනයට වෙන් කරන්න මුදල් නැහැ. 

සංවර්ධන කටයුතු වෙනුවෙන් කොටි ගණනක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙනවා කියලා. රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්න බැරි ආණ්ඩුවක් වෙලා විතරක් නෙවෙයි. අයවැයෙන් මහ ලොකු පොතක් රටට ඉදිරිපත් කළාට ඒ පොතේ තියෙන්නේ බොරු බව ජනාධිපතිවරයාගේ වචනයෙන් බැහැදිලියි.

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ඒ බැංකු ටිකත් කඩාගෙන වැටෙන තැනට පත්වෙලා. මේක කියන්නේ රටේ ජනාධිපතිතුමා. රාජ්‍ය නායකයා. 

එහෙමනම් වත්මන් ආන්ඩුවට ඉදිරියට යන්න පුලුවන්ද නැද්ද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. මේ විදියට ගිහින් ආර්ථිකය බිංදුවට බැහැලා එක පාරට එක තැන නවතින රටක් වෙයි. අපි පත්වෙන්නේ 88/89 කාලයේ ඇතිවුනු කැරැල්ල සමයේටත් වැඩි ආගාධයකට. මෙවැනි තත්ත්වයක් යුද්ධය අවසානයේවත් මහින්ද රාජපක්ෂ මහතා රටට ඇතිවෙන්න දුන්නේ නැහැ. 

ජනතාව ඉන්නේ බයෙන්. රටේ පඩිගෙවන්න නැහැ කියද්දි රටට ආයෝජකයෝ එයිද. අස්ථාවර රටක් බවට අපේ රට පත්වෙලා. මේ තත්ත්වයට ආන්ඩුව පත්වෙන්න හේතුව මොකක්ද. 

මහා දවාලේ ටයිකෝට් දාගෙන මහ බැංකුව දෙවරක්ම මංකොල්ල කාලායි මේ තත්ත්වය ඇති වුනේ. බැදුම්කර මහ මංකොල්ලයේ ප්‍රධාන මොලකරුවෝ නිදැල්ලේ ඒ සල්ලි තමන්ගේ අනාගත අභිවෘද්දිය වෙනුවෙන් යොදවමින් ඉන්නවා. “