විදුලි පාරිභෝගිකයෝ විසි දහසක් අනතුරේ

විදුලි පාරිභෝගිකයෝ විසි දහසක් අනතුරේ

February 18, 2019   05:47 pm

කොළොන්න විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙනත් ස්ථානයකට ගෙනයෑමට විරෝධය පළ කරමින් අද(18) පෙරවරුවේ විරෝධතාවයක් පැවති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම විරෝධතාවය ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ අතර ඔවුන් ඉල්ලා සිටින්නේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය තිබූ ස්ථානයේම ස්ථාපිත කරන ලෙසයි.

පසුගියදා කොළොන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයට පැමිණ මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ එහි සේවකයන් කොළොන්න විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයට සේවයට වාර්තා නොකර ඇඹිලිපිටිය සේවා මධ්‍යස්ථානයට රාජකාරී වාර්තා කර ඇති බව වාර්තා විය.

මේ සිද්ධිය දිගින් දිගටම යෑමත් සමඟ කොළොන්නේ පිහිටි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙනත් ප්‍රදේශයකට ගෙන යෑමට සූදානම් බවත් එය විදුලි පාරිභෝගිකයන්ට මහත් අසාධාරණයක් බවත් පවසමින් ප්‍රදේශවාසීන් මෙසේ විරෝධතාවයේ නියැලිණි.

18 දා පෙරවරු 10.30ට පමණ කොළොන්න සතිපොළ අසලින් විරෝධතාවය ආරම්භ කර සූරියකන්ද මාර්ගයේ කොළොන්න නගරයේ පිහිටි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අසලට ගොස් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නියැලෙන්නට විය.

රාජ්‍ය දේපල විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක කරනු, කොළොන්න ප්‍රාදේශීය විදුලි බල ශාඛාව අනතුරේ, විදුලි පාරිභොගිකයෝ විසි දහසක් අනතුරේ, ගමේ චන්ඩි විදුලි ශාඛාවට කඩා වැදීම තරයේ හෙළා දකිමු යනාදී වශයෙන් පාඨ ප්‍රදර්ශණය කරමින් වරෝධතාවය නියලි බව අප වාර්තාකරු පැවසීය.

පසුගියදා කොළොන්න ගම්වාසීන් පිරිසක් සහ කොළොන්න විදුලිබල මණ්ඩල ශාඛාවේ පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබිණි.

පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයටම නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.