පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට

පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට

February 18, 2019   03:40 pm

කල්දමා තිබෙන පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

සත්‍ය ගවේශකයෝ සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

 එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා සහ සාමාජිකයින්  නම් කර ඇත.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ සීමා නිර්ණය කටයුතු හුවා දක්වමින් වත්මන් රජය පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම කල් දමමින් සිටින බවයි.

මේ හේතුවෙන් පළාත්සභා හයක් පමණ අක්‍රිය වී ඇතැයි සඳහන් කළ එම සංවිධානය මේ තුළින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් අදාළ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස  මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ද මෙම රිට් පෙත්සම තුළින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.