මිරිදිය මසුන් සඳහා පාලන මිලක්

මිරිදිය මසුන් සඳහා පාලන මිලක්

February 18, 2019   02:39 pm

මිරිදිය මසුන් සඳහා ඉදිරියේදී පාලන මිලක් ඇති කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශයන්හි ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයන් සමඟ අද( 18) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කලාවැව ජලජීවී වගා පුහුණු මධ්‍යස්ථානයේ පැවති මෙම ධීවර ගැටළු විසදීමේ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙ බව පැවසීය.

“දැන් මාළුවලටත් පාලන මිලක් දාන්න වෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. මස්වලට, බිත්තරවලට, මුහුදු මාළුවලට මිලක් දාලා තියෙනවා. 

නමුත් වැව්මාළුවලට සීමාවක් නෑ. වැව්මාළු තමයි නැවුම් පිට තියෙන්නෙ. මුහුදේ ඉන්න සමහර මාළු කනකොට සමහර ඒවා මාස තුනකට වැඩියි. 

ට්‍රෝලර් යාත්‍රාවක් ගියාම දවස් 45 කට පස්සේ තමයි එන්නේ. මුල් දවසේ ඉඳන් අල්ලන මාළු අයිස් පෙට්ටියේ දාලා තියෙන්නේ. ඒවා ගෙනැල්ලා මෙහෙ අයිස් ගබඩාවලත් දාලා තියෙනවා. එහෙම තමයි අපිට සමහර මාළු කන්න වෙන්නේ දවස් 45 කට පස්සේ.

 මං හිතන විදියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ 70% ක් විතර ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්නේ වැව් මාළුවලින්. ඒ ගුණාත්මකභාවය ශරීර සෞඛ්‍යයට හොඳයි.

මෙහිදී මාධ්‍යවේදීන් පසුගියදා නීතිවිරෝධීව ප‍්‍රංශය හා ඔස්ටෙ‍්‍රිලියාව බලා ගිය කණ්ඩායමි පිළිබඳව යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

ධීවරයන්ගේ වෙස් ගනිමින් විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. විශේෂයන්ම මුහුදු මාර්ගවලින් ධිවර බෝට්ටු තුළින් මත්ද්‍රව්‍ය රට ඇතුළට ගේන්න ඒ වගේම වෙනත් මගීන්ව රටවල්වලට ප්‍රවාහනය කරන්න ධීවරයන්ගේ මාර්ගයෙන් උපක්‍රම සිදුකරනවා. 

අපි මේ සම්බන්ධයෙන් දැනටමත් ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය එකතුවෙලා සෑම බෝට්ටුවකට සංඥා පද්ධති සවිකරගෙන යනවා. තව යාත‍්‍රා 2500 ක විතර ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා නඩුවක් තියෙන නිසා.

යාත‍්‍රා 1500ක් විතර සංඥා පද්ධති අලුතෙන් ලබාදෙන්න තියෙනවා. අපි ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කථා කරගෙන යනවා. 

එතනොට අපිට පුළුවන් මහ මුහුදේ ඕනම තැනක ධීවර බෝට්ටුවක් තිබුණොත් ඒක ලියාපදිංචි කරලද ,ඒ බෝට්ටුව කොයි ආකාරයෙන් ද හැසිරෙන්නේ, අපේ මුහුදු සීමාව උල්ලංඝනය කරලා යනවානම් ඒ පිළිබඳ සියලු තොරතුරු වාර්තා කර ගන්න පුළුවන්. 

අපි මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ධීවර ජනතාවගේ සහයෝගයක් ලැබුණොත් අපිට ඉතාමත් ඉක්මනින් මේ වගේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙනඒම වගේම මිනිස් ජාවාරම්කරුවන් අල්ලා ගැනීමටත් මේක ඉවහල් වෙයි.”