මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට ලකුණු 13ක තියුණු ජයක්

මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට ලකුණු 13ක තියුණු ජයක්

February 18, 2019   01:20 pm

ඕස්ට්‍රේලියාවේ පැවති බිග් බෑෂ් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම ඊයේ (17) සමත් විය.

ඒ අවසන් මහා තරගයේදී මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 145ක්.

එහිදී ටොම් කූපර් පන්දු 35කදී නොදැවී ලකුණු 43ක් රැස් කර ගත්තේය.

ඩැනියල් ක්‍රිස්ටීන් ලකුණු 38යි.

ලකුණු 146ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට බෙන් ඩන්ක් සහ මාකස් ස්ටොයිනිස් සමත් විය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ සබඳතාව ලකුණු 93ක්.

නමුත් ඩන්ක්ගේ සහ ස්ටොයිනිස්ගේ දැවී යාමත් සමග මෙල්බර්න් ස්ටාස් ඉනිම බිඳ වැටුණි.

එතැන් සිට ඔවුන්ගේ කඩුළු 7ක් ලකුණු 20ක් තුල දැවී ගියේය.

ඒ අනුව මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

අවසන් මහා තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් හිමිකර ගත් මෙල්බර්න් රෙනගේඩ්ස් කණ්ඩායම මෙවර බිග් බෑෂ් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.