මාරවිල මාරක රිය අනතුර-මිය ගිය පුද්ගලයින් එළියට ගන්න දැරූ උත්සහය

මාරවිල මාරක රිය අනතුර-මිය ගිය පුද්ගලයින් එළියට ගන්න දැරූ උත්සහය

February 18, 2019   12:59 pm

හලාවත කොළඹ ප්‍රධාන මාරගයේ මහවැව මංසන්ධිය ආසන්නයේදී (18) පෙරවරු 04.35 ට පමණ සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරණයට පත්වූ අතර පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කරනු ලැබීය‍.

වව්නියාවේ සිට කොළඹ බලා ගමන් ගත් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ලොරියක ගැටීමෙන් අනතුරුව පාරෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මේ අනතුර සිදුව තිබිණි.

ට්‍රාන්ස්ෆෝමරයේ බස් රථය ගැටෙනවාත් සමඟ විදුලිය විසන්ධි වීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැලකී ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුව විනාඩි තිහක් ඇතුළත් තුවල ලබා සිටි 19 දෙනෙකු රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන්ට හා මාරවිල පොලීසියේ නිලධාරීන්ට හැකි වූ අතර තිදෙනෙකු බස් රථයෙන් ඉවතට ගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගත විණි. 

මේ තිදෙනා ඒ වන විටත් මිය ගොස් සිටි අතර මොවුන් එළියට ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වුයේ ට්‍රාන්ස්ෆෝමරය හා විදුලි කණුවක් බස් රථය මත තිබීම හේතුවෙනි.
 
සිදුවීම සිදුවු විට පුද්ගලයින් 4ක් මිය ගොස් ඇති බව අනාවරණය වුවත් පසුව සුන්බුන් අතරින් සොයා ගත් ශරීරයේ කොටස්වලින් මියගොස් ඇත්තේ පුද්ගලයින් තිදෙනෙකු බව අනාවරණය වී තිබේ.

මේ බස් රථය අධික වේගයෙන් පැමිණි බව සිද්ධිය ඇසින් දුටුවන් කීප දෙනෙකුම පැවසිය. 

බස් රථය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මේ අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ බස් රථයේ වේගය පැයට සැතපුම් සියයකට ආසන්නව තිබු හෙයින් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වූ බවද මේ අනතුර සිදුවෙනවා ඇසින් දුටු වික්‍රම දිසානායක නැමැති පුද්ගලයා අද දෙරණට පැවසීය.

ඔහු මේ බස් රථය දැක තම ලොරි රථය මාර්ගයෙන් ඉවත් කර  කර ගෙන තිබේ.
 
මියගිය තිදෙනාගෙන් දෙදෙනෙකු උදෑසන 9ය පමණ විට හඳුනා ගත් අතර එයින් එක් අයෙකු, ගගේ වාඩිය පදිංචිකරුවෙකු වූ වර්ණකුලසුරිය ඇන්ටනි නාමල් රන්දික නැමති 40 හැවිරිදි වියේ පසුවන්නෙකි.

අනෙක් පුද්ගලයා මංගලඑළිය පදිංචිකරුවෙකු වූ ශිරෝන් සංජිව නැමති 42 හැවිරිදි පුද්ගලයෙක් බව මාරවිල පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසීය.

මාරවිල රෝහලට ඇතුලත් කළ පිරිසෙන් දෙදෙනෙකු හලාවත හා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.

මේ බස් රථයේ රියදුරන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එක් අයෙකු වව්නියාවේ සිට පුත්තලම දක්වා බස් රථය ධාවනය කර ඇති අතර අනෙක් රියදුරු පුත්තලමේ සිට මේ බස් රථය ධාවනය කර තිබේ. 

මේ දෙදෙනාම මේ වන විට බරපතළ තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර තිබේ. 

බස් රථයේ කොන්දොස්තර පිළිබඳ තොරතුරක් නොතිබිණි.

මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාරවිල රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.