බෂර් අල් අසාද්ගේ බලය රැකෙයි ද? විපක්ෂ බලවේග ජය ගනීද ?
සයුරෙන් එතෙර

බෂර් අල් අසාද්ගේ බලය රැකෙයි ද? විපක්ෂ බලවේග ජය ගනීද ?

February 18, 2019   12:22 pm

පන් ලක්ෂයකට අධික පිරිසකට මරු කැඳවූ අට වසරක ව්‍යසනකාරී සිවිල් යුද්ධයකින් අනතුරුව, ජනාධිපති බෂර් අල් අසාද් තමන් බලයෙන් පහ කිරීමට උත්සහ කරන විපක්ෂ බලවේගවලට එරෙහිව ජයග්‍රහණයට ආසන්න වෙමින් සිටියි.

ඉඩ්ලිබ් ප්‍රදේශය මුළුමනින්ම මුදාගැනීම සඳහා මේ වනවිටත් එහි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිරියාවේ ඉඩ්ලිබ් හි හඳුනාගත් ප්‍රදේශ තවමත් ෂෙල් වෙඩි ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර පිළිබඳව වාර්තා වන්නේ ඉරාන සහ තුර්කි නායකයින්ගේ සහභාගීත්වයෙන් රුසියාවේ පැවති සමුළුවෙන් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ඉඩ්ලිබ් හි ප්‍රදේශ රැසකට එල්ල වූ ප්‍රහාරවලින් පසුව එහි වෙළඳපලක ගින්නක් හටගෙන ඇති අයුරු දැක්වෙන දර්ශන සහ වයිට් හෙල්මට්ස් කණ්ඩායමේ සාමාජිකයින් විනාශ වූ නිවසක සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් මුදාගැනීමට සෝදිසි මෙහෙයුම් සිදුකරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ජාලවලට එක්කර තිබුණි.

බ්‍රිතාන්‍ය මුලික කරගත් මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනයක් ප්‍රකාශ කළේ  ප්‍රහාරවලින්  කාන්තාවක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

නේවාසික ප්‍රදේශයක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් මහත් පරිශ්‍රමයක් දරන අයුරු  තවත් වීඩියෝ දර්ශනයක සටහන්ව තිබුණි.

එම ප්‍රදේශයට  බෝම්බ ප්‍රහාර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙයි.

පෙබරවාරි 14 වැනිදා සොචි නගරයේ පැවති සමුළුවේදී ඉඩ්ලිබ් ප්‍රදේශය මුළුමනින්ම මුදාගැනීම සඳහා අතිරේක පියවර ගැනීමට රුසියා තුර්කි සහ ඉරාන නායකයින් අතර එකඟ වූ බව සඳහන් වෙයි.

කෙසේ  වෙතත් ඊට හමුදා මැදිහත්වීමක් සිදුනොවන බව ක්‍රෙම්ලිනය එහිදී ක්‍රෙම්ලිනය කියා සිටියේය.

සිරියාවේ සිය භට පිරිස් ඉවත් කරගන්නා බව අමෙරිකාව නිවේදනය කිරිමටත් සමඟ සිරියාව සම්බන්ධව මොස්කව් සහ අන්කාරා පාලනය අතර අර්බුදකාරී වාතාවරණයක් පැන නැගුණු බව විශ්ලේෂකයින් පෙන්වා දුන්නේය.

කැරලිකරුවන් හා සටන්කාමීන්  සතු ප්‍රදේශ අත්පත් කර ගැනීමට මොස්කව් පාලනය  ජනාධිපති බෂර් අල් අසාද් ට සහය දක්වද්දී අන්කාරා පාලනය ඔහු ධූරයෙන් ඉවත් විය යුතු බව පැවසීම ඊට හේතු වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.