සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයට
සයුරෙන් එතෙර

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයට

February 18, 2019   10:37 am

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ  ආසියානු සංචාරයේ පළමු සන්ධිස්ථානය වන්නේ පාකිස්තානයයි.

අද වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින එරටට ඔහුගේ මෙම සංචාරය ප්‍රතිලාභ රැසක් අත්කර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය ආසියානු සංචාරය අරඹමින් පාකිස්ථානයේ ඉස්ලාමාබාද්  නුවරට පැමිණි අයුරුයි මේ.

එහිදී සල්මාන් කුමරුන්ට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව එරට පුවත් සේවා පෙන්වා දුන්නේය.

මෙම සංචාරය යෙදී ඇත්තේ කාශ්මීර අර්බුදයත් සමඟ පාකිස්ථානය ජාත්‍යන්තරව තනි කරන බවට ඉන්දියාව අනතුරු අගවමින් සිටින මොහොතක වීම විශේෂත්වයක්.

පාකිස්තානය උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, එම අර්බුදයෙන් ගොඩ ඒමට මූල්‍ය සහන දීමට ද සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව පාකිස්තානය සහ සෞදිය අතර අමෙරිකන්  ඩොලර් බිලියන 20ක්  වටිනා ගිවිසුම්වලට කුමරුන් සහ පාකිස්තාන අගමැතිවරයා අතරේ අත්සන් තැබීමට පියවර ගෙන ඇත.

දින දෙකක කාලයක් පාකිස්ථානයේ රැදී සිටින සල්මාන් කුමරු එහිදී පාකිස්ථානයේ ඉහළ පෙළේ නිළධාරීන් රැසක් හමුවනු ඇති.

මෙම හමුව පිළබදව ජාත්‍යන්තර විශ්ලේෂකයන් ගේ දැඩි අවධානයට හේතු වී ඇති අතර පාකිස්ථානය සෞදි අරාබිය සමඟ සබදතා ගොඩ නගා ගැනීමෙන් නව අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය වි ඇත.

සල්මාන් කුමරු පාකිස්තාන සංචාරය සඳහා පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් සල්මාන් කුමරුන් පාකිස්තානයට පැමිණෙන බව කල් තියා දැනුම් දී තිබුණ ද කුමරු පැමිණෙන දිනය නිශ්චිතව දන්වා තිබුණේ නැත.

මීට  ඉහතදීත් සෞදි අරාබිය පාකිස්ථානයට ඩොලර් බිලියන 6ක මූල්‍යාධාර ලබා දී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.