අමෙරිකාවෙන් වෙනිසියුලානු වැසියන්ට ආධාර
සයුරෙන් එතෙර

අමෙරිකාවෙන් වෙනිසියුලානු වැසියන්ට ආධාර

February 17, 2019   12:44 pm

වෙනිසියුලානු වැසියන්ට ලබා දීම සඳහා අමෙරිකාව විසින් කොලොම්බියාවට  ආධාර ද්‍රව්‍ය රැගෙන විත් තිබේ.

රට තුළ පවතින උග‍්‍ර දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ වෙනිසියුලානු වැසියන් මේ වනවිට පසුවන්නේ දැඩි ආහාර හිගයකට මුහුණ දෙමින්. 

වෙනිසියුලාවට මානුෂීය ආධාර රැගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානා කොලොම්බියා දේශසීමාව අසළ කුකූටා (Cucuta) නගරයට පැමිණ ඇත.

පසුගිය මාසයේ තමන් වෙනිසියුලාවේ  අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමා විසින්ම ප්‍රකාශයට පත්කළ විපක්ෂ නායක  ජුවාන් ගුවයිඩෝ ගේ ඉල්ලීමකට අනුව මෙලෙස  ආධාර තොග ගබඩා කරමින් පවතින බවට සඳහන්.

මෙය අමෙරිකානු කුමන්ත්‍රණයේම කොටසක් බව ජනාධිපති නිකොලස් මදුරෝ පවසද්දී  විපක්ෂ නායක ගුවයිඩෝ ප්‍රකාශ කළේ වෙනිසියුලානු ස්වේච්ඡා සේවකයින්  එළඹෙන 23 වැනිදා ඒවා  දේශසීමාව හරහා රැගෙන යනු ඇති බවයි.

කුකූටා හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර  සංවර්ධනය පිළිබඳව  එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ පරිපාලක මාක් ග්‍රීන් වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින මානුෂීය අර්බුදය හමුවේ ආධාර ලබාදෙන ලෙස විපක්ෂනායකවරයා ඉල්ලීමක් කළ බව කියා සිටියේය.

එලෙස උග්‍ර වෙමින් පවතින අර්බුදය හමුවේ ආහාර හා ඖෂධ සොයාගැනීමේ අරමුණින් අසල්වැසි රටවලට වෙනිසියුලානු වැසියන් මිලියන තුනක් පමණ  සංක්‍රමණය වී ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ආධාර තොගය වෙනිසියුලාව තුළට රැගෙන යාමට අවසර ලබාගැනීම සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

මෙය අමෙරිකාවේ තවත් එක් සංදර්ශනයක් පමණක් බව පවසන ජනාධිපති මදුරෝ රට තුළ කිසිදු අර්බුදයක් නැතැයි පවසයි.

කෙසේ වෙතත් අමෙරිකානු යුද  ගුවන් යානා පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ඔහු හමුදාවට නියෝග කර තිබුණි.

මේ අතර සේනාංක නිර්මාණය කරමින් රට තුළට ආධාර ලබා ගැනීම සඳහා උපකාරී වන බවට  ස්වේච්ඡා සේවකයින් දහස් සංඛ්‍යාත  පිරිසක් ප්‍රතිඥා දී ඇති බව වාර්තා වන්නේය.