ආධාර එකතු කරන්න ගිහින් පාසල් දැරියට අතවර කළ හිමිනම අත්අඩංගුවට

ආධාර එකතු කරන්න ගිහින් පාසල් දැරියට අතවර කළ හිමිනම අත්අඩංගුවට

February 15, 2019   01:05 pm


බාලවයස්කාර වයස අවුරුදු නවයක පාසල් සිසුවියකට ලිංගික අතවර කර ආරණ්‍යවාසී හිමි නමක් පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව මොරවක පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි හිමිනමක් වන අතර අදාළ හිමි නම විහාරස්ථානයට ආධාර  එකතු කිරීම පිණිස බාලවයස්කාර දැරියගේ නිවසට ගිය අතර තුර මෙම සිදුවීමට මුහුණපා ඇති බවට ඇගේ 73 හැවිරිදි  මිත්තණිය පොලීසියට පැමිණිලි කර ඇත.

අදාළ දැරියගේ මව පිළිකා රෝගයක් වැළඳීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ඉකුත් පෙබරවාරී මස 5  වන දින සිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඇය බැලීම සඳහා දැරියගේ පියා ද කරාපිටිය රෝහලට ගිය අතරතුර මෙම සිදුවීමට මුහුණපා තිබේ.

එම අවස්ථාවේ දැරිය සහ මිත්තණිය පමණක් නිවසේ සිටි බවත් අදාල හිමිනම නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණිය හිමි නමට ගිලන්පස වීදුරුවක් සාදා ගෙන ඒමට ගිය අතර තුර දැරියට මේ සිදුවීම සිදු වී ඇති බවට පොලීසියට කළ පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වෙයි.

සිදුවීමෙන් පසු ව අදාල බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර  අදාළ හිමිනම මොරවක පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මොරවක  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.