පොහොට්ටුවේ නොවන කෙනෙක් දිනවන්න පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නෑ

පොහොට්ටුවේ නොවන කෙනෙක් දිනවන්න පොහොට්ටුවේ සාමාජිකයින් කඩේ යවන්නේ නෑ

February 11, 2019   04:58 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසයි.

අද (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පසුගිය 05 වැනිදා සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා පැවැත්වෙන අතර අද දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ හමුව පැවැත්විනි.

එහිදී අදහස් දැක්වූ පළාත්පාලන ආයතන මන්ත්‍රීවරුන් සඳහන් කලේ එලැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කිරීමට දේශපාලකයින් පෙළඹී ඇති බවයි. 

ඉදිරියේදි සන්ධාන ගතවන බව සඳහන් කරන සමහර පක්ෂවල නායකයින් පවා කිසිදු වග විභාගයකින්,පක්ෂ නායකයින්ගෙන් නොවිමසා සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වීම අරඹා ඇතැයිද පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නොවන ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් දිනවීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ශාඛා සමිති කිසිසේත් සූදානම් නැතැයි ද එම මන්ත්‍රිවරු අදහස් දක්වමින් පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“ශ්‍රි ලංකා පොදුජන පෙරමුන ගොඩනැගුනේ ගමෙන්. පක්ෂයේ නායකත්වය හදන්න කලින් සාමාජිකයා හැදුනු පක්ෂයක්. 

ඒ විදියටම පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල සැකසීමේ කටයුත්ත සිද්ධ වෙන්නෙත් ගමෙන්. ගමේ පාක්ෂිකයාට පළමු තැන දෙන දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙය වන්න කිසිදු සූදානමක් නැහැ.

ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ. 

ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.“

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා, සහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු ද එක්ව සිටියේය.