තේ වගාව නිසා සිංහරාජය අවධානමක

තේ වගාව නිසා සිංහරාජය අවධානමක

February 11, 2019   04:04 pm

සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද ප්‍රදේශය තේ වගාව සඳහා මේ වන විට ශීඝ්‍රයෙන් විනාශ කරමින් පවතින බව වාර්තා වෙයි.

සිංහරාජ වනාන්තරය තුළ ඉතා සූක්ෂම ලෙස එළිපෙහෙලි කිරීම් කර තේ වගාවන් සඳහා බිම් සකස් කර ඇති ආකාරය දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සිංහරාජ සීමාව ලෙස නම්කර ඇති ප්‍රදේශයන්හි ඇති සීමා කණු ගලවා දමා එම කැළැ ප්‍රදේශ එළි කරමින් ඇති අතර මේ වන විට කල්ලුමලේ, ගිලිකර රෑ මුදුන, මෝනින් සයිඩ් මාර්ගයේ ස්ථාන කිහිපයකම මෙලෙස තේ වගාව ආරම්භ කර ඇති අයුරු දක්නට ලැබුණි.

මේ හේතුවෙන් පහල ප්‍රදේශයන්හි බීමට ජලය නොමැති තත්ත්වයක්ද මතුව ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

සිංහරාජය සුරුකීමේ සංවිධානයේ නිලධාරීන්  විසින් මේ පිළිබඳව සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී තිබේ.

එයට සහභාගී වූ අඩවි වන කාර්යාලයේ පහල නිලධාරින් මෙම වන විනාශය පිලිබද සිය අවධානය දක්වා නොමැති අතර ඔවුන් කියා සිටියේ මෙම තේ වගාව සදහා යොදවා ඇති ඉඩම් වතු සමාගමකට අයත් ඒවා බවයි.

කෙසේ නමුත් මේ වන විට සිංහරාජ වනාන්තරයේ ශාක බොහෝමයක් විනාශ කර තිබීම හේතුවෙන් අවට පරිවාර රක්ෂිතවල පවතින ජල පෝෂක ප්‍රදේශ සහමුලින්ම විනාශ වී ගොස් තිබේ.

මේ පිලිබද හැකි ඉක්මණින් සිය අවධානය යොමු කරන  මෙන් සිංහරාජය සුරුකීමේ සංවිධානයේ නිලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.