හොඳම තේ දළු නෙලන්නිය තෝරයි

February 10, 2019   12:04 pm

තලවකැලේ, ලිඳුල, මටේකැලේ තේ වතුයායේ හොඳම තේ දළු නෙලන්නිය තේරීමේ අවසන් මහ තරඟය පසුගියදා එම වත්තේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. 

එහිදී හොඳම තේ දළු නෙලන්නිය ලෙස මටේකැලේ වත්තේ, මටේකැලේ කොටසේ පී. ඉරුදයමේරී මහත්මිය විසින් ජයග්‍රහණය කරනු ලැබු අතර ඇය විසින් විනාඩි 15 ක් තුළදී ප්‍රමිතියට අනුකූලව තේ දළු කිලෝ දෙකයි ග්‍රෑම් අටසිය අසුවක් නෙළීමට සමත්කම් දැක්වුවාය.  

මෙහි දෙවන ස්ථානය දමයන්තී මහත්මියත්, තුන්වන ස්ථානය එස්. සසිකලා මහත්මියත් දිනා ගන්නා ලද අතර ජයග්‍රහණය ලැබූ එම කම්කරු කාන්තාවන්ට මුදල් හා සහතික පත් පිරිනැමිණි.  

මෙම තරඟයට සහභාගී වු සියළුම වතු කම්කරු කාන්තාවන්හට සැනසිලි ත්‍යාග ලබාදීමටද වතු කළමණාකාරිත්වය විසින් පියවර ගෙන තිබේ. 

වතු කළමණාකරුවන්, වතු සේවකයන් හා වතු කම්කරුවන් අතර සහයෝගය හා සමඟිය වර්ධනය කොට තේ දළු නෙලන කාන්තාවන්ගේ කුසලතාවයන් ඉහළ දැමීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබු බව පවසයි. 

මෙසේ ජයග්‍රහණය ලැබු පිරිස තලවකැලේ වැවිලි සමාගමට අයත් අනෙකුත් වතු සමග පැවැත්වෙන අවසන් මහ තරඟයට ඉදිරිපත් කරනු ලබන බවත් මටේකැලේ වතු අධිකාරී නලීන් කුමාර මහතා පැවැසීය. 

තලවකැලේ වැවිලි සමාගමට අයත් වතු අතර පැවැත්වෙන අවසන් මහ තරඟයෙන් ජය ගන්නා තරඟකාරියන්හට පවුලේ සාමාජිකයන් සමඟ ඉන්දියාවට යෑමට ගුවන් ටිකට්පත් මෙන්ම අනෙකුත් පිරිසට දේශීය සංචාර හා මුදල් ත්‍යාග පිරිනැමීමට තලවකැලේ වැවිලි සමාගම විසින් සැළැසුම් කොට තිබේ. 

ජර්මනියේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන මිගෙල් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, මටේකැලේ නියෝජ්‍ය වතු කළමණාකරු ඉෂාන් මොහොමඩ්, සහකාර වතු අධිකාරී හරීන් මාරලන්ද යන මහත්වරුන් හා වතු සේවකයන්, වතු කම්කරුවන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.