ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය හෙට

ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය හෙට

January 23, 2019   07:33 pm

සංචරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර වොන් - මුරලි කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට(24) ආරම්භ වීමට නියමිතයි.

මෙය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 8යි 30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළදී ටෙස්ට් තරග 13කට සහභාගී වී ඇතත් ඉන් එක් තරගයක්වත් ජය ගැනීමට සමත් වී නැහැ.

එම තරග 13න් 11ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇති අතර ඉතිරි තරග 2 අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

අවසන් වරට ශ්‍රි ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව තුළදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කරගෙන ඇත්තේ 1989 වසරේදී වීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගී වී ඇති දිවා රාත්‍රී ටෙස්ට් තරග 2ම ජය ගෙන තිබීම හේතුවෙන් හෙට ආරම්භ වන තරගයට හොඳ මානසිකත්වයකින් මුහුණදීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔස්ට්‍රේලියාවේ තනතිල්ල ලංකාවේ ක්‍රීඩකයින්ට අභියෝගයක් වන බවත්, ඒ නිසා සියයට 200 ක කැපවීමෙන් ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිදුවන බව ද දිනේෂ් චන්දිමාල් මෙහිදී සඳහන් කළේය.

මේ වන විට කණ්ඩායමේ සංයුති දෙකක් පිළිබඳව අවධානයෙන් සිටින බවත්, තනතිල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයට එන බව ද ඔහු පැවසීය.