රන්ජන්ට තවත් නඩුවක් ?

රන්ජන්ට තවත් නඩුවක් ?

January 23, 2019   07:28 pm

ජාතික චිත්‍රපට සංස්ථාවේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(22) සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට අද(23) එම සංස්ථාවේ කාර්ය මණ්ඩලය මාධ්‍ය හමුවක් පවත්වමින් සිය විරෝධය පළ කළේය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ 47 වන සංවත්සර සැමරුම් උත්සවයට ඊයේ එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණු අතර ඊට විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, කැරම් බෝඩ් 10 ක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තිබී හසුවු බවත් සේවකයින් කැරම් ගසමින් සිටින්නට ඇතැයි ද , භාණ්ඩාගාරයේ සල්ලි ඉල්ලන සංස්ථාවක් නොවී වැඩකටයුතු කරන ලෙසත් සඳහන් කළේය.

කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතා සිදු කළ එම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජාතික සේවක සංගමය ,චිත්‍රපට සංස්ථා සේවක සංගමය හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ, ජාතික සේවක සංගමයේ ලේකම් අසංක ගුණතිලක මහතා කියා සිටියේ, චිත්‍රපට සංස්ථාවේ සේවකයින් වැඩක් සිදු නොකරන බවට රන්ජන් රාමනායක මහතා කැරම් ගහන කාර්ය මණ්ඩලයක් ලෙස පෙන්වීමට උත්සහ ගන්නා බවත්, එයට තමන්ගේ බලවත් අප්‍රසාදය පළ කරන බවයි.

පුරප්පාඩු රැසක් තිබිය දී මෙම කාර්ය මණ්ඩලය තම සේවය ඉටු කරන බවත්, එවැනි පසුබිමක අමාත්‍යවරයා භාණ්ඩාගාරයෙන් හිඟා කන තත්ත්වයක් පිළිබඳ අදහස් දැක්වීම හෙළා දකින බව ද ජාතික චිත්‍රපට සංස්ථාවේ, චිත්‍රපට සංස්ථා සේවක සංගමයේ ලේකම් නිලන්ත ප්‍රසාද් මහතා පැවසීය.