නිදහස් දිනය-ජාතික දිනය වුණ හැටි

නිදහස් දිනය-ජාතික දිනය වුණ හැටි

January 23, 2019   05:42 pm

ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

මේ වෙනුවෙන් පුහුණු පෙළපාලි පැවැත්වෙන දිනයන්හි කොළඹ නගරයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිත අතර ඒ පිලිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද(23) පැවැත්විය.

71 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන ජනවාරි  26,27, 31 සහ පෙබරවාරි මස 01,02,03යන දිනවලදී පෙරහුරු පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පුහුණු පෙළපාලි පැවැත්වෙන එම දිනවල උදෑසන 06.30 සිට පෙළපාලි කටයුතු අවසන් වන තෙක් කොල්ලුපිටිය මංසන්ධියෙන් කෙළඹ කොටුව ලෝටස්  වටරවුම දක්වා වන මාර්ගය තාවකාලිකව වසා තබයි.

සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි 4 දින උදෑසන 4 සිට උළෙල අවසන් වන තෙක් කාලය තුළ ගාලුමුව දොර මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන අතර ගාලුමුවදොර අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය උදෑසන 6 සිට දහවල් 12 දක්වා සීමා කිරීමටද නියමිතයි.

මේ අතර මෙතෙක් කලක් භාවිත කල නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව අද මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බව ද පැවසීය.

ඒ අනුව මෙවර දිනයට ජාතික දිනය ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බව ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මාධ්‍යවේදීන් නිදහස් දිනයක් මින් පසු නැද්ද යන්න පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “මට නම් නිදහස් දිනයක් ඇත.ඔබටත් තිබිය යුතුයි“ යනුවෙනි.