කෝට්ටේ නගරාධිපතිගේ පරිගණක දත්ත සොරකම් කිරීමට එරෙහි නඩුවේ චෝදනා කියවයි

කෝට්ටේ නගරාධිපතිගේ පරිගණක දත්ත සොරකම් කිරීමට එරෙහි නඩුවේ චෝදනා කියවයි

January 9, 2019   04:47 pm

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතාගේ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස ඇතුළත් වී එහි දත්ත සොරකම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එම මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට අද(09) කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කියවා දෙනු ලැබීය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කියැවු අතර ඊට තමන් නිවැරදිකරුවන් බව ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේය.

අද දින නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්වයෙන්  පසුවන හෙයින් ඔහු අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ අනුව නඩු විභාගය පෙබරවාරි මස 28 වනදා දක්වා කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළා.

2013 වසරේ ජූලි මස 17 වනදා එවකට කෝට්ටේ මහනගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතාගේ පරිගණකයට අයුතු ලෙස ප්‍රවේශ වී එහි තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.