එජාපයට සහය දක්වන මන්ත්‍රීවරු ගණන ඉහළට

එජාපයට සහය දක්වන මන්ත්‍රීවරු ගණන ඉහළට

December 18, 2018   09:38 pm

අර්බුදකාරී දේශපාලන වාතාවරණයෙන් අනතුරුව අද(18) පළමු වරට පාර්ලිමේන්තුව රැස්විය.

පස්වරු 01.00 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර ආරම්භයේදී සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායකවරයා මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත් කරනු ලැබීය.

විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය.
 
මේ සියල්ල අවසන් වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරණායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහය පල කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබීය.
 
විපක්ෂයට එක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියේ, ආණ්ඩුව ශක්තිමත් කිරීමේ අරමුණින් තමා ආණ්ඩුවට එක් වු බවත්, කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය නොකරන බවත්ය.

ඉන් අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට(19) පස්වරු 01.00 දක්වා කල් තබනු ලැබීය.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදයට අදාල යෝජනාව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කල අතර විවාදය අද පස්වරුව දක්වා පැවැත්විය.

ලක්ෂ්මන් සෙනෙවිරත්න , විජිත් විජයමුණි සොයිසා , ඉන්දික බණ්ඩාරනායක යන සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනා ආණ්ඩු පක්ෂයේ අසුන්ගනු ලැබීමත් සමඟ පාර්ලිමේන්තුවේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරුන් ගණන 106 දක්වා ඉහළ ගොස් තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දක්වන මන්ත්‍රීවරුන් ගණන 96 ක් බවට පත්ව තිබේ.

දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරු 14 දෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණට 06 දෙනකු සිටින අතර රතන හිමි සහ දෙමළ සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ස්වාධීනව කටයුතු කරයි.